අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(25) 5. ආපත්ති භය වර්‍ගය
2. අපත්ති භය සූත්‍රය
’’මහණෙනි, මේ බිය සතරක් වෙත්. කවර සතරක්ද යත්.
’’මහණෙනි, යම්සේ ’දෙවයන් වහන්ස, මේ ඔබ වහන්සේගේ සොරායයි රජු මොහුට දඬුවම් නියම කරන්නැ’ යි මං පැහැරූ සොරෙකු ගෙන රජුට දක්වන්නාහු නම් රජු ඔහුට, ’ පින්වත, යව. මේ පුරුෂයා දළ රැහැණින් අත් පිටිපස තබා දැඩි බැම්මෙන් බැඳ, කරයෙන් මුඩුකර, ක්‍රූර ශබ්ද ඇති බෙරයෙන් වීථියෙන් වීථිය, සන්ධියෙන් සන්ධිය පමුණුවා දකුණු දොරින් නික්මවා. නුවරට දකුණින් හිස සිඳුව ’ යි කියන්නේය. රජුගේ පුරුෂයෝ ඔහු දළ රැහැණින් දෙඅත් පිටිපස තබා දැඩි බැම්මෙන් බැඳ, කරයෙන් මුඩුකර, ක්‍රූර ශබ්ද ඇති බෙරයෙන් වීථියෙන් වීථිය, සන්ධියෙන් සන්ධිය පමුණුවා දකුණු දොරින් නික්මවා. නුවරට දකුණින් හිස සිඳින්නාහු නම් එහි ගොඩ සිටි එක්තරා පුරුෂයෙකුට, පින්වත, මේ පුරුෂ තෙම ඒකාන්තයෙන් ගැරහියයුතු, හිස සිඳිය යුතු, පවු කමක් කෙළේය. යම් තැනෙක්හි රාජ පුරුෂයෝ දැඩි රැහැණින් දෙඅත් පිටිපස තබා දැඩි බැම්මෙන් බැඳ, කරයෙන් මුඩුකර, ක්‍රූර ස්වර ඇති බෙර හඬින් වීථියෙන් වීථිය, සන්ධියෙන් සන්ධිය පමුණුවා දකුණු දොරින් පිටත් කරවා නුවරට දකුණින් හිස සිඳිත්. ඒකාන්තයෙන් මම මෙබඳු ගැරහිය යුතු හිස සිඳින පාප කර්මයක් නොකරන්නේ නම් යහපතැ’ යි වන්නේය.
’’මහණෙනි, එසේම යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ පාරාජිකා ධර්මයන් කෙරෙහි තද නිර්භය සංඥාව එළඹ සිටියා වේද, ඔහුට නොපැමිණි පාරාජිකා ධර්මයට නොපැමිණෙන්නේය, පැමිණි පාරාජිකා ධර්මයට ධර්මය පරිදි පිළියම් කරන්නේය යන මෙය කැමතිවිය යුතුය.
’’මහණෙනි, යම්සේ පුරුෂයෙක්
’’කළු වස්ත්‍රයක් හැඳ, කෙස් විසුරුවා, මොහොලක් කරෙහි කොට, මහජනයා වෙත පැමිණ, ’ස්වාමීනි, මම ගැරහියයුතු, මෝල් පාරක් දියයුතු, පාප කර්‍මයක් කෙළෙමි. යම් කාරණයකින් මට ආයුෂ්මත්හු සතුටක් කරණු කැමැත්තාහුද, එය කරත්වා’ යි කියන්නේය.
’’එහි ගොඩ සිටි එක්තරා පුරුෂයෙකුට යම් කර්මයෙක්හි කළු වස්ත්‍රයක් හැඳ, කෙස් විසුරුවා, මොහොලක් කරෙහි කොට, මහජනයා වෙත පැමිණ, ’ස්වාමීනි, මම ගැරහියයුතු, මෝල් පාරක් දියයුතු, පාප කර්‍මයක් කෙළෙමි. යම් කාරණයකින් මට ආයුෂ්මත්හු සතුටක් කරණු කැමැත්තාහුද, එය කරත්වා’ යි කියන්නේය. හෙතෙම ඒකාන්තයෙන් මම මෙබඳු ගැරහිය යුතු මොහොල් පහරක් කෑ යුතු කර්‍මයක් නොකරන්නෙමි.’
’’මහණෙනි, එසේම යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ සංඝාදිශෙෂ ධර්‍මයන්හි මෙසේ තියුණුවූ නිර්භය සංඥාව එළඹ සිටියා වේද, ඔහු නොපැමිණි සංඝාදිශෙෂ ධර්‍මයට නොපැමිණෙන්නේය. පැමිණි සංඝාදිශෙෂ ධර්‍මයට, ධර්‍මයවූ පරිදි පිළියම් කරන්නේයයි කියා කැමති විය යුතු.
’’මහණෙනි, යම් සේ පුරුෂයෙක්
’’කළු වස්ත්‍රයක් හැඳ, කෙස් විසුරුවා, උණු අළු පොට්ටනියක් කරපිට තබා, මහජනයා වෙත පැමිණ, ’ස්වාමීනි, මම ගැරහියයුතු, උණු අළු තැබියයුතු, පාප කර්‍මයක් කෙළෙමි. යම් කර්මයකින් මට ආයුෂ්මත්හු කැමතිවෙත්ද, එය කරමි’ යි කියන්නේය.
’’එහි ගොඩ සිටි එක්තරා පුරුෂයෙකුට යම් කර්මයෙක්හි කළු වස්ත්‍රයක් හැඳ, කෙස් විසුරුවා, උණු අළු පොට්ටනියක් කරපිට තබා, මහජනයා වෙත පැමිණ, ’ස්වාමීනි, මම ගැරහියයුතු, උණු අළු තැබියයුතු, පාප කර්‍මයක් කෙළෙමි. යම් කර්මයකින් මට ආයුෂ්මත්හු කැමතිවෙත්ද, එය කරමි’ යි කියන්නේය. හෙතෙම ඒකාන්තයෙන් මෙබඳු ගැරහියයුතු, උණු අළු තැබියයුතු, කර්‍මයක් නොකරන්නේය.
’’මහණෙනි, එසේම යම් භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ පාචිත්තිය ධර්මයන්හි මෙසේ තියුණුවූ, නිර්භය සංඥාව එළඹ සිටියා වේද, ඔහුට නොපැමිණි පාචිත්තිය ධර්මයට නොපැමිණෙන්නෙමි. පැමිණි පාචිත්තිය ධර්මයට පිළියම් කරන්නේයයි කියා කැමති විය යුතුය.
’’මහණෙනි, යම්සේ පුරුෂයෙක්
’’කළු වස්ත්‍රයක් හැඳ, කෙස් විසුරුවා, මහජනයා මැදට විත්, ’ස්වාමීනි, මම ගැරහියයුතු, දොස් කිවයුතු, පාප
කර්‍මයක් කෙළෙමි. යම් කර්මයකින් මට ආයුෂ්මත්හු කැමතිවෙත්ද, එය කරමි’ යි කියන්නේය.
’’එහි ගොඩ සිටි එක්තරා පුරුෂයෙකුට යම් කර්මයෙක්හි කළු වස්ත්‍රයක් හැඳ, කෙස් විසුරුවා, මහජනයා මැදට විත්, ’ස්වාමීනි, මම ගැරහියයුතු, දොස් කිවයුතු, පාප කර්‍මයක් කෙළෙමි. යම් කර්මයකින් මට ආයුෂ්මත්හු කැමතිවෙත්ද, එය කරමි’ යි කියන්නේය. හෙතෙම ඒකාන්තයෙන් මෙබඳු ගැරහියයුතු, දොස් කිවයුතු, කර්මයක් නොකරන්නේය.
’’මහණෙනි, එසේම යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ සෙසු සියලු ආපත්තීන්හි මෙසේ තියුණු නිර්‍භය සංඥාව එළඹ සිටියේ වේද, ඔහුට නොපැමිණි සෙසු ආපත්ති ධර්‍මයට නොපැමිණෙන්නෙමි. පැමිණි සෙසු ආපත්ති ධර්‍මයට පිළියම් කරන්නේයයි කියා කැමතිවිය යුතුය. මහණෙනි, මේ සතර ආපත්ති භය ය.’’