අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

1. භණ්ඩගාම වර්‍ගය

4. දෙවෙනි ඛත උපහත සූත්‍රය

’’ මහණෙනි, සතර දෙනෙකු කෙරෙහි වරදවා පිළිපදින, අව්‍යක්තවූ, අසත්පුරුෂ බාලයා, සිඳින ලද, නසන ලද, ගුණ ඇති ආත්මය පරිහරණය කරයි. දොස් සහිත වූයේද වෙයි. නුවණැත්තන් විසින් උපවාද කරණු ලබන්නේද වෙයි. බොහෝ පවුද රැස් කරයි. කවර සතර දෙනෙකු කෙරෙහිද?

’’මහණෙනි, මව කෙරෙහි නිසිසේ නොපිළිපදින. අව්‍යක්ත, අසත්පුරුෂ බාලයා සිඳින ලද, නසන ලද, ගුණ ඇති ආත්මය පරිහරණය කරයි. දොස් සහිතවූයේද වෙයි. නුවණැත්තන් විසින් උපවාද කරණු ලබන්නේද වෙයි. බොහෝ පවුද රැස් කරයි.

’’මහණෙනි, පියා කෙරෙහි නිසිසේ නොපිළිපදින. අව්‍යක්ත, අසත්පුරුෂ බාලයා සිඳින ලද, නසන ලද, ගුණ ඇති ආත්මය පරිහරණය කරයි. දොස් සහිතවූයේද වෙයි. නුවණැත්තන් විසින් උපවාද කරණු ලබන්නේද වෙයි. බොහෝ පවුද රැස් කරයි.

’’මහණෙනි, තථාගතයන් වහන්සේ කෙරෙහි නිසිසේ නොපිළිපදින. අව්‍යක්ත, අසත්පුරුෂ බාලයා සිඳින ලද, නසන ලද, ගුණ ඇති ආත්මය පරිහරණය කරයි. දොස් සහිතවූයේද වෙයි. නුවණැත්තන් විසින් උපවාද කරණු ලබන්නේද වෙයි. බොහෝ පවුද රැස් කරයි.

’’මහණෙනි, තථාගත ශ්‍රාවකයන් කෙරෙහි නිසිසේ නොපිළිපදින. අව්‍යක්ත, අස්තපුරුෂ බාලයා සිඳින ලද, නසන ලද, ගුණ ඇති ආත්මය පරිහරණය කරයි. දොස් සහිතවූයේද වෙයි. නුවණැත්තන් විසින් උපවාද කරණු ලබන්නේද වෙයි. බොහෝ පවුද රැස් කරයි.

’’මහණෙනි, සතරදෙනෙකු කෙරෙහි මනාකොට පිළිපදින, ව්‍යක්ත, සත්පුරුෂ පණ්ඩිත තෙම නොසිඳින ලද, නොනසන ලද ගුණ ඇති තමන් පරිහරණය කරයි. දොස් රහිත වූයේද වෙයි. නුවණැත්තන් විසින් කරණ ලද උපවාද රහිත වෙයි. බොහෝ පින්ද රැස් කරයි. කවර සතර දෙනෙකු කෙරෙහිද යත්.

’’මහණෙනි, මව කෙරෙහි නිසිසේ පිළිපදින. ව්‍යක්ත, සත්පුරුෂ පණ්ඩිත තෙම නොසිඳින ලද, නොනසන ලද, ගුණ ඇති තමන් පරිහරණය කරයි. දොස් රහිතවූයේද වෙයි. නුවණැත්තන් විසින් කරණ ලද උපවාද රහිත වෙයි. බොහෝ පින්ද රැස් කරයි.

’’මහණෙනි, පියා කෙරෙහි මනාව පිළිපදින. ව්‍යක්ත, සත්පුරුෂ පණ්ඩිත තෙම නොසිඳින ලද, නොනසන ලද, ගුණ ඇති තමන් පරිහරණය කරයි. දොස් රහිතවූයේද වෙයි. නුවණැත්තන් විසින් කරණ ලද උපවාද රහිත වෙයි. බොහෝ පින්ද රැස් කරයි.

’’මහණෙනි, තථාගතයන් වහන්සේ කෙරෙහි මනාව පිළිපදින. ව්‍යක්ත, සත්පුරුෂ පණ්ඩිත තෙම නොසිඳින ලද, නොනසන ලද, ගුණ ඇති තමන් පරිහරණය කරයි. දොස් රහිතවූයේද වෙයි. නුවණැත්තන් විසින් කරණ ලද උපවාද රහිත වෙයි. බොහෝ පින්ද රැස් කරයි.

’’මහණෙනි, තථාගත ශ්‍රාවකයන් කෙරෙහි මනාව පිළිපදින. ව්‍යක්ත, සත්පුරුෂ පණ්ඩිත තෙම නොසිඳින ලද, නොනසන ලද, ගුණ ඇති තමන් පරිහරණය කරයි. දොස් රහිතවූයේද වෙයි. නුවණැත්තන් විසින් කරණ ලද උපවාද රහිත වෙයි. බොහෝ පින්ද රැස් කරයි.

’’මව කෙරෙහිද, පියා කෙරෙහිද, තථාගත සම්බුද්ධයන් වහන්සේ කෙරහිද, තවද, උන්වහන්සේගේ ශ්‍රාවකයන් කෙරෙහිද යමෙක් අයහපත් සේ පිළිපදීද, එබඳු ඒ මනුෂ්‍යයා බොහෝ පව් රැස් කරයි. මවුපියන් කෙරෙහි ඒ අධර්ම හැසිරීමෙන් පණ්ඩිතයෝ ඔහුට ගරහත්. පරලොව අපායටද යයි. මව කෙරෙහිද, පියා කෙරෙහිද, තථාගත බුදුන් කෙරහිද, නොහොත්, උන්වහන්සේගේ ශ්‍රාවකයන් කෙරෙහිද යමෙක් මනාව පිළිපදීද, එබඳු ඒ මනුෂ්‍ය තෙම බොහෝ පින්ද රැස් කරයි. මවුපියන් කෙරෙහි ඒ ධර්මචර්‍ය්‍යාවෙන් පණ්ඩිතයෝ ඔහුට මෙලොවම ප්‍රශංසා කරති. පරලොව ස්වර්‍ගයෙහි ප්‍රීති වෙයි.’’