අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(10) 5. අසුර වර්‍ගය

1. අසුර පරිවාර සූත්‍රය

’’මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ, විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?

’’අසුරයන් පිරිවර කොට ඇති අසුරයාය. දෙවියන් පිරිවර කොට ඇති අසුරයාය. අසුරයන් පිරිවර කොට ඇති දෙවියාය. දෙවියන් පිරිවර කොට ඇති දෙවියාය යන සතර දෙනය.

’’මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම අසුරයන් පිරිවර කොට ඇති අසුරයා වේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වේද, ලාමක ස්වභාව ඇත්තේ වේද, ඔහුගේ පිරිසද දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම අසුර පිරිවර ඇති අසුරයාය.

’’මහණෙනි, දෙවියන් පිරිවර කොට ඇති අසුරයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තේද, ඔහුගේ පිරිස සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ දෙවියන් පිරිවර කොට ඇති අසුරයාය.

’’මහණෙනි, පුද්ගල තෙම කෙසේ නම් අසුරයන් පිරිවර කොට ඇති දෙවියා වේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, ඔහුගේ පිරිස වනාහි දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙවැනි පුද්ගල තෙම අසුරයන් පිරිවර කොට ඇති දෙවියෙක් වේ.

’’මහණෙනි, කවර පුද්ගලයෙක් දෙව් පිරිස ඇති දෙවියෙක් වේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, ඔහුගේ පිරිසද සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම දෙව් පිරිස් ඇති දෙවියෙක් වේ. මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.’’