අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

1. පඨම පණ්ණාසකය

1. සෙඛබල වර්‍ගය

1. සංඛිත්ත සෙඛබල සූත්‍රය

නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස

’’මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද. ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේත ’’පින්වතුන් වහන්සැ’’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, සප්තවිධ ශෛක්‍ෂයන්ගේ බලයෝ මේ පසෙක් වෙත්. කවර පසෙක්ද යත්, ශ්‍රද්‍ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීර්‍ය්‍ය බලය, ප්‍රඥා බලය යන මේ පසයි.

’’මහණෙනි, මේ පස වනාහි සප්තවිධ ශෛක්‍ෂයන්ගේ බලයෝ වෙත්.

’’මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි මෙසේ හික්මිය යුතුයි. ශෛක්‍ෂ බලයවූ ශ්‍රද්‍ධා බලයෙන් යුක්ත වන්නෙමු. ශෛක්‍ෂ බලයවූ හිරි බලයෙන් යුක්ත වන්නෙමු. ශෛක්‍ෂ බලයවූ ඔත්තප්ප බලයෙන් යුක්ත වන්නෙමු. ශෛක්‍ෂ බලයවූ වීර්‍ය්‍ය බලයෙන් යුක්ත වන්නෙමු. ශෛක්‍ෂ බලයවූ ප්‍රඥා බලයෙන් යුක්ත වන්නෙමු. කියායි. මහණෙනි, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයයි වදාළ සේක.’’