අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
3. තුන්වන පණ්ණාසකය
(11) 1. ඵාසු විහාර වර්‍ගය
10. අරඤ්ඤසේනාසන සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම වනයෙහි වානප්‍රස්ථ නම් ඉතා දුර සෙනසුන් සේවනය කරන්ට සුදුසු වේ.
’’කවර පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම සිල්වත් වේද, ප්‍රතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරවූයේ, ආචාරයෙන් හා ගෞරවයෙන් යුක්තවූයේ වාසය කෙරේද, ස්වල්ප තරම් වරදවල භය දක්නා ස්වභාව ඇතිවූයේ ශික්‍ෂා පදයන්හි සමාදන්ව හික්මේද, බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම් ඇත්තේ වේද, මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්මයෝ සියල්ලෙන් සම්පූර්‍ණවූ, පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙද්ද, එබඳුවූ ධර්මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සළකන ලද්දාහු, දාෂ්ටියෙන් මනාව ප්‍රතිවේධ කරණ ලද්දාහු වෙද්ද,
’’පටන්ගන්නාලද වීර්‍ය්‍යයෙන් යුක්තව වාසය කෙරේද, ශක්ති ඇත්තේ, දැඩි වීර්‍ය්‍යය ඇත්තේ, කුශල ධර්‍මයන්හි බහා නොතබන ලද ධුර ඇත්තේ වේද, අධිචිත්තයෙහි හටගත්තාවූ, මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ, සතර ධ්‍යානයන්හි කැමති පරිදි ලැබීම් ඇත්තේ, නිදුකින් ලැබීම ඇත්තේ, බහුලව ලැබීම ඇත්තේ වේද, ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව රහිතවූ චිත්ත විමුක්තියටද, ප්‍රඥා විමුක්තියටද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කෙරේද යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම වනයෙහි වානප්‍රස්ථ නම් ඉතා දුර සෙනසුන් සේවනය කරන්ට සුදුසු වේ.
එකොළොස් වැනි ඵාසුවිහාර වර්‍ගය නිමි.