අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

4. සතරවැනි පණ්ණාසකය

(17) 2. අඝාත වර්‍ගය

1. ආඝාත පටි විනය සූත්‍රය

’’මහණෙනි, යම් අරමුණෙක්හි උපන්නාවූ ක්‍රොධය සියලු ආකාරයෙන් දුරුකටයුතුද ඒ මේ ක්‍රොධ සංසිඳීම් පසක් වෙත්.

’’කවර පසක්ද යත්? මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි ක්‍රොධය උපදීනම්, ඒ පුද්ගලයා කෙරෙහි )සසස’ මෛත්‍රිය වැඩිය යුතුයි. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රොධය දුරුකටයුතු වේ.

’’මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි ක්‍රොධය උපදීනම්, ඒ පුද්ගලයා කෙරෙහි කරුණාව වැඩිය යුතුයි. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රොධය දුරුකටයුතු වේ.

’’මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි ක්‍රොධය උපදීනම්, ඒ පුද්ගලයා කෙරෙහි උපෙක්‍ෂාව වැඩිය යුතුයි. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රොධය දුරුකටයුතු වේ.

’’මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි ක්‍රොධය උපදීනම්, ඒ පුද්ගලයා කෙරෙහි සිහි නොකිරීමට, මෙනෙහි නොකිරීමට පැමිණිය යුතුයි. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රොධය දුරුකටයුතු වේ.

’’මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි ක්‍රොධය උපදීනම්, ඒ පුද්ගලයා කෙරෙහි ආයුෂ්මත් තෙමේ කර්‍මය ස්වකීය කොට ඇත්තේ, කර්‍මය උරුම කොට ඇත්තේ, කර්‍මය උත්පත්ති කාරණාකොට ඇත්තේ, කර්‍මය නෑයන් කොට ඇත්තේය. කර්‍මය පිහිට කොට ඇත්තේය. යහපත්වූ හෝ ලාමකවූ හෝ යම් කර්‍මයක් කරන්නේ එයට උරුම ඇත්තෙක් වන්නේයයි කර්‍මය ස්වකීය කොට ඇති බව අධිෂ්ඨාන කළ යුතුයි. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රොධය දුරුකටයුතු වේ.

’’මහණෙනි, යම් අරමුණෙක්හි උපන්නාවූ ක්‍රොධය සියලු ආකාරයෙන් දුරුකටයුතුද ඒ මේ ක්‍රොධ සංසිඳීම් පසක් වෙත්.