අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
4. සතරවැනි පණ්ණාසකය
(17) 2. අඝාත වර්‍ගය
9. ඛිප්පනිසන්තී සූත්‍රය
’’එකල්හි වනාහි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම, ’’ඇවැත්නි මහණෙනි,’’ යි භික්‍ෂූන්ට ඇමතූ සේක. ’’ඇවැත්නි’’ කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය වදාළේය.
’’ඇවැත්නි, ශීල විපත්තියට පැමිණියාවූ දුශ්ශීලයාහට සම්‍යක් සමාධිය කරුණු රහිත වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධිහුගේ විපතට පැමිණියහුට තත්වූ පරිදි නුවණින් දැකීම හේතු රහිත වේ. තත්වූ පරිදි නුවණින් දැකීම නැති කල්හි තත්වූ පරිදි නුවණින් දැක්මෙහි විපතට පැමිණියහුට කලකිරීමෙන් නොඇල්ම හේතු රහිත වේ. කලකිරීමෙන් නොඇල්මෙහි විපතට පැමිණියහුට කෙළෙසුන්ගෙන් මිදීම, නුවණින් මිදීම, නුවණින් දැකීම හේතු රහිත වේ.
’’ඇවැත්නි, යම් සේ වෘක්‍ෂය අතුපතරින් විපතට පැමිණියේද, ඒ වෘක්‍ෂයාගේ පතුරද සම්පූර්‍ණවීමට නොපැමිණේද, සිවියද, ඵලයද, හරයද, සම්පූර්‍ණවීමට නොපැමිණේද, ඇවැත්නි, මෙපරිද්දෙන්ම ශීල විපත්තියට පැමිණියාවූ දුශ්ශීලයාහට සම්‍යක් සමාධිය කරුණු රහිත වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධිහුගේ විපතට පැමිණියහුට තත්වූ පරිදි නුවණින් දැකීම හේතු රහිත වේ. තත්වූ පරිදි නුවණින් දැකීම නැති කල්හි තත්වූ පරිදි නුවණින් දැක්මෙහි විපතට පැමිණියහුට කලකිරීමෙන් නොඇල්ම හේතු රහිත වේ. කලකිරීමෙන් නොඇල්මෙහි විපතට පැමිණියහුට කෙළෙසුන්ගෙන් මිදීම, නුවණින් මිදීම, නුවණින් දැකීම හේතු රහිත වේ.
’’ඇවැත්නි, ශීලයෙන් යුක්තවූ, සිල්වත්හට සම්‍යක් සමාධිය හේතු සහිතවේ. සම්‍යක් සමාධිය ඇති කල්හි, සම්‍යක් සමාධියෙන් යුක්තවූවහුට තත්වූ පරිදි නුවණින් දැකීම හේතු සහිතවේ. තත්වූ පරිදි නුවණින් දැකීම ඇති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීමෙන් යුක්තවූවහුට කලකිරීමෙන් නොඇල්ම හේතු සහිතවේ. කලකිරීමෙන් නොඇල්ම ඇති කල්හි කලකිරීමෙන් නොඇල්මෙන් යුක්තවූවහුට කෙලෙසුන් කෙරෙන් මිදීම, නුවණින් දැකීම හේතු සහිත වේ.
’’ඇවැත්නි, යම් සේ වෘක්‍ෂයක් තෙම අතුපතරින් ගැවසී ගත්තේ ඒ වෘක්‍ෂයාගේ පතුරත් සම්පූර්‍ණවීමට යේද, සිවියත්, ඵලයත්, හරයත්, සම්පූර්‍ණවීමට යේද, ඇවැත්නි, මෙපරිද්දෙන්ම ශීලයෙන් යුක්තවූ සිල්වත්හට සම්‍යක් සමාධිය හේතු සහිත වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි සම්‍යක් සමාධියෙන් යුක්තවූවහුට තත්වූ පරිදි නුවණින් දැකීම හේතු සහිත වේ. තත්වූ පරිදි නුවණින් දැකීම ඇති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීමෙන් යුකතවූවහුට කලකිරීමෙන් නොඇල්ම හේතු සහිත වේ. කලකිරීමෙන් නොඇල්ම ඇති කල්හි කලකිරීමෙන් නොඇල්මෙන් යුක්තවූවහුට කෙළෙසුන්ගෙන් මිදී, නුවණින් දැකීම, හේතු සහිත වේයයි කීයේය.
’’ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් සමග සතුටුවූයේය. සතුටු විය යුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට මෙය කීයේය.
’’ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, කොපමණකින් වනාහි භික්‍ෂුතෙම කුශල ධර්මයන්හි වහා සැලකීම ඇත්තේ වේද, මනාව ගන්නා ලද්දක් කොට ගැණීම ඇත්තේ වේද, බොහෝකොටත් ගණීද, මොහු විසින් ගන්නා ලද්දක් මුළානොකෙරේද?’’
’’ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ වනාහි බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වේ. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ටම මෙය වැටහේවායි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, එසේ වී නම් අසව, මනාකොට මෙනෙහි කරව. කියන්නෙමි’’ යි කීයේය. ’’එසේය, ඇවැත්නි,’’ යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්නේය.
’’ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම මෙය කීයේය. ’’ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම අර්ත්‍ථ කීමෙහි දක්‍ෂයෙකුත් වේද, පාලි ධර්මයෙහි දක්‍ෂයෙකුත් වේද, නිරුත්තර වචනයන්හි දක්‍ෂයෙකුත් වේද, අක්‍ෂර ප්‍රභෙදයන්හි දක්‍ෂයෙකුත් වේද, පූර්‍වාපරයන්හි දක්‍ෂයෙකුත් වේද, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙතෙකින් වනාහි භික්‍ෂු තෙම කුශල ධර්මයන්හි වහා සැලකීම් ඇත්තේද වේ. මනාව ගන්නා ලද්දක් කොට ගැනීම් ඇත්තේද වේ. බොහෝකොට ගණියි. මොහු විසින් ගන්නා ලද්ද ද මුළා කෙරේය’’ යි කීයේය.
’’ඇවැත්නි, ආශ්චර්‍ය්‍යය, ඇවැත්නි, අද්භූතය. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් විසින් මෙය ඉතාම යහපත්කොට කියන ලද්දක්ද වේ. අපි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් මේ කරුණු පසින් යුක්තවූවකු කොට සලකමු. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ අර්ත්‍ථ කීමෙහි දක්‍ෂයෙක. පාලි ධර්මයෙහි දක්‍ෂයෙක. නිරුක්ති වචනයන්හි දක්‍ෂයෙක. අක්‍ෂර ප්‍රභෙදයන්හි දක්‍ෂයෙක. පූර්‍වාපර දෙක්හි දක්‍ෂයෙක’’ කියායි.