අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
2. දෙවැනි පණ්ණාසකය
(6) 1. නීවරණ වර්‍ගය
6. උපජඣායුපසඞ්කමන සූත්‍රය
ඉක්බිති එක්තරා භික්‍ෂුවක් තෙම ස්වකීය උපාධ්‍යායයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ස්වකීය උපාධ්‍යායයන් වහන්සේට මෙය සැළ කෙළේය.
’’ස්වාමීනි, දැන් මාගේ ශරීරය හටගත් බර බැව් ඇත්තේද, දිශාවන්ද මට නොවැටහෙත්. ධර්‍මයෝද මට නොවැටහෙත්. ථීනම්ද්‍ධ නීවරණයද මාගේ සිත මැඩගෙණ සිටියි. නො ඇළුනේද, බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙමි. මට ධර්‍මයන්හි සැකයද ඇත්තේය’’ යි.
’’එකල්හි ඒ භික්‍ෂු තෙම ඒ සද්‍ධිවිහාරික භික්‍ෂුව කැඳවාගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ඒ භික්‍ෂු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය.
’’ස්වාමීනි, මේ භික්‍ෂු තෙම මෙසේ කීයේය. ’ස්වාමීනි, දැන් මාගේ ශරීරය හටගත් බර බැව් ඇත්තේද, දිශාවන්ද මට නොවැටහෙත්. ධර්‍මයෝද මට නොවැටහෙත්. ථීනම්ද්‍ධ නීවරණයද මාගේ සිත මැඩගෙණ සිටියි. නො ඇළුනේද, බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙමි. මට ධර්‍මයන්හි සැකයද ඇත්තේය’ යි.
’’මහණෙනි, මෙසේ වනාහි මෙය වේ. ඉන්‍ද්‍රියයන්හි නොරක්නා ලද දොරටු ඇත්තාවූ, භොජනයෙහි පමණ නොදන්නාවූ, නිදි වර්ජිත කිරීමෙහි නොයෙදෙන්නාවූ, කුශල ධර්‍මයන් නොබලන්නාවූ, පූර්‍ව රාත්‍රි, අපර රාත්‍රි දෙක්හි සත්තිස් බෝධි පාක්‍ෂික ධර්‍මයන්ගේ භාවනාවෙහි යෙදීමෙන් යුක්ත නොව වාසය කරන්නහුගේ,
’’කය හටගත් බර බව ඇත්තේද වේ. දිශාවෝද ඔහුට නොවැටහෙත්. ධර්‍මයෝද ඔහුට නොවැටහෙත්. ථීනම්ද්‍ධ නීවරණයද මොහුගේ සිත මැඩගෙන සිටියි. නොඇළුනේද, බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි. මොහුට ධර්‍මයන්හි සැකද වේ.
’’මහණ, එහෙයින් මේ ශාසනයෙහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. ඉන්‍ද්‍රියයන්හි රක්නා ලද දොරටු ඇත්තෙක් වන්නෙමි. භොජනයෙහි පමණ දන්නෙක්ව, නිදි වර්ජිත කිරීමෙහි යෙදුනෙක්ව, කුශල ධර්‍මයන් බලන්නෙක්ව, පූර්‍ව රාත්‍රි, අපර රාත්‍රි දෙක්හි බෝධි පාක්‍ෂික ධර්‍ම භාවනාවෙහි යෙදීමෙන් යුක්තව වාසය කරන්නෙමියි, මහණ, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුය’’ යි වදාළ සේක.
’’ඉක්බිති, ආයුෂ්මත් භික්‍ෂු තෙම, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් අවවාද කරණ ලද්දේ, හුනස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ වැඳ, පැදකුණු කොට ගියේය.
’’ඉක්බිති, ආයුෂ්මත් භික්‍ෂු තෙම, හුදකලාවූයේ, වෙන්වූයේ, අප්‍රමත්තවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, කාය ජීවිත නිරපෙක්‍ෂව වාසය කරන්නේ, නොබෝ කලකින්ම කුලපුත්‍රයෝ යමක් සඳහා වහාම ගිහිගෙන් නික්ම අනගාරික සංඛ්‍යාත ශාසනයෙහි පැවිදිවෙත්ද, බ්‍රහ්මචර්‍ය්‍යය අවසන්කොට ඇති නිරුත්තර ඒ අර්‍හත්වය තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයි.
’’උත්පත්තිය ක්‍ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරණ ලදී. මින් මතු අන් යමක් නැතැයි දැනගත්තේය. ආයුෂ්මත් භික්‍ෂු තෙම රහතන් වහන්සේලාගෙන් කෙනෙක් වූයේය.’’
’’ඉක්බිති ඒ භික්‍ෂු තෙම රහත් බවට පැමිණියේ ස්වකීය උපාධ්‍යාය තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ස්වකීය උපාධ්‍යායයන් වහන්සේට මෙය සැළ කෙළේය.
’’ස්වාමීනි, දැන් මාගේ ශරීරය හටගත් බර බැව් ඇත්තේ නොවේමය. දිශාවෝද මට වැටහෙත්, පැමිණ සිටිත්, ධර්‍මයෝද මට වැටහෙත්, ථීනම්ද්‍ධ නීවරණයද මාගේ සිත මැඩගෙන නොසිටියි. ඇළුනේද, බ්‍රහ්මවර්‍ය්‍යාවෙහි හැසිරෙමි. මට ධර්‍මයන්හි සැකයක්ද නැත්තේය’’ යි.
’’එකල්හි ඒ භික්‍ෂු තෙම ඒ සද්‍ධිවිහාරික භික්‍ෂුව කැඳවාගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ඒ භික්‍ෂු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය.
’’ස්වාමීනි, මේ භික්‍ෂු තෙම මෙසේ කීය.’’
’’මහණ, මෙසේ වනාහි එය වේ. ඉන්‍ද්‍රියයන්හි රක්නා ලද දොරටු ඇති. භොජනයෙහි පමණ දන්නාවූ, නිදි දුරු කිරීමෙහි යෙදුනාවූ, කුශල ධර්‍මයන් බලන්නාවූ, පූර්‍ව රාත්‍රි, අපර රාත්‍රි දෙක්හි බෝධි පාක්‍ෂික ධර්‍ම භාවනාවෙහි යෙදීමෙන් යුක්තව වාසය කරන්නහුගේ ශරීරය තෙම හටගත් බර බැව් ඇත්තේය යන යමක් නොවේද, දිශාවෝද මොහුට වැටහෙත්, ධර්‍මයෝද මොහුට වැටහෙත්, ථීනම්ද්‍ධ නීවරණයද මොහුගේ සිත මැඩගෙන නොසිටියි. ඇළුනේද, බ්‍රහ්මවර්‍ය්‍යාවෙහි හැසිරෙයි. මොහුට ධර්‍මයන්හි සැකයක්ද නොවෙයි
’’මහණ, එහෙයින් මේ ශාසනයෙහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. ඉන්‍ද්‍රියයන්හි රක්නා ලද දොරටු ඇත්තෙක් වන්නෙමි. භොජනයෙහි පමණ දන්නෙක්ව, නිදි වර්ජිත කිරීමෙහි යෙදුනෙක්ව, කුශල ධර්‍මයන් බලන්නෙක්ව, පූර්‍ව රාත්‍රි, අපර රාත්‍රි දෙක්හි බෝධි පාක්‍ෂික ධර්‍ම භාවනාවෙහි යෙදීමෙන් යුක්තව වාසය කරන්නෙමියි, මහණ, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුය’’ යි වදාළ සේක.