අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

2. දෙවැනි පණ්ණාසකය

(6) 1. නීවරණ වර්‍ගය

5. සාමන්තපාස සූත්‍රය

එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපි්ඩු සිටුහුගේ අරමෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි’’ යි කියා භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක. ’’පින්වතුන් වහන්ස’’ කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

’’එකල්හි වනාහි සැවැත් නුවර, මව හා පුත්‍රවූ භික්‍ෂුවක්ද, භික්‍ෂුණියක්ද, යන දෙදෙනෙක් වස් වැසීමට පැමිණියාහුය. ඔවුහු, ඔවුනොවුන් නිතර දකිනු කැමති වූවාහුය. මවද, පුත්‍රයා නිතර දකිනු කැමැත්තී විය. පුත්‍ර තෙමේද, මව නිතර දකිනු කැමැත්තේ විය. ඔවුන්ගේ නිතර දැකීමෙන් සංසර්‍ගය වූයේය. සංසර්‍ගය ඇති කල්හි විශ්වාසය වූයේය. විශ්වාසය ඇති කල්හි බැස ගැනීම වූයේය. බැසගත් සිත් ඇත්තාවූ ඔවුහු ශික්‍ෂාව හැර නොදමා, දුර්‍වල බව ප්‍රකාශ නොකොට, මෛථුන ධර්‍මය ප්‍රතිසේවනය කළාහුය.

’’එකල්හි බොහෝවූ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට එළඹියාහුය. ඵළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව උන්නාහුය. එකත්පස්ව හුන්නාවුම ඒ භික්‍ෂූහු, භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළාහුය. ස්වාමීනි, එකල්හි වනාහි සැවැත් නුවර, මව හා පුත්‍රවූ භික්‍ෂුවක්ද, භික්‍ෂුණියක්ද, යන දෙදෙනෙක් වස් වැසීමට පැමිණියාහුය. ඔවුහු, ඔවුනොවුන් නිතර දකිනු කැමති වූවාහුය. මවද, පුත්‍රයා නිතර දකිනු කැමැත්තී විය. පුත්‍ර තෙමේද, මව නිතර දකිනු කැමැත්තේ විය. ඔවුන්ගේ නිතර දැකීමෙන් සංසර්‍ගය වූයේය. සංසර්‍ගය ඇති කල්හි විශ්වාසය වූයේය. විශ්වාසය ඇති කල්හි බැස ගැනීම වූයේය. බැසගත් සිත් ඇත්තාවූ ඔවුහු ශික්‍ෂාව හැර නොදමා, දුර්‍වල බව ප්‍රකාශ නොකොට, මෛථුන ධර්‍මය ප්‍රතිසේවනය කළාහුය.

’’මහණෙනි, කිමෙක්ද? ඒ හිස් පුරුෂ තෙම මව පුතු කෙරෙහි නොඇලෙයි. පුතා හෝ මව කෙරෙහි නොඇලේයයි හඟීද?

’’මහණෙනි, යමක් මෙසේ ඇළුම් කරන්නේද, මෙසේ කැමති වන්නේද, මෙසේ මත් කරන්නේද, මෙසේ බැඳ ගන්නේද, මෙසේ මුසපත් කරන්නේද, උතුම්වූ නිවණ ලැබීමට මෙසේ අනතුරු කරන්නේද,

’’එබඳුවූ අන් එක රූපයකුදු මම සර්‍වඥතාඥානයෙන් නොදකිමි. මහණෙනි, එනම් ස්ත්‍රී රූපයයි. මහණෙනි, ස්ත්‍රී රූපයෙහි

’’සත්ත්‍වයෝ ඇළුනාහු, ගැටුනාහු, ගිජුවූවාහු, මුසපත්වූවාහු, ඇතුළත් වූවාහු වෙද්ද,

’’ඔවුහු බොහෝ ස්ත්‍රී රූපයාගේ වසඟයට ගියාහු ශොක කරත්.

’’මහණෙනි, මම අන් එක ශබ්දයකුත් සර්‍වඥතා ඥානයෙන් නොදකිමි. මහණෙනි, එනම් ස්ත්‍රී ශබ්දයයි. මහණෙනි, ස්ත්‍රී ශබ්දයෙහි, ඔවුහු බොහෝ ස්ත්‍රී ශබ්දයාගේ වසඟයට ගියාහු ශොක කරත්.

’’එක ගන්‍ධයකුත් සර්‍වඥතා ඥානයෙන් නොදකිමි. මහණෙනි, එනම් ස්ත්‍රී ගත්‍ධයයි. මහණෙනි, ස්ත්‍රී ගන්‍ධයෙහි, ඔවුහු බොහෝ ස්ත්‍රී ගන්‍ධයාගේ වසඟයට ගියාහු ශොක කරත්.

’’එක රසයකුත් සර්‍වඥතා ඥානයෙන් නොදකිමි. මහණෙනි, එනම් ස්ත්‍රී රසයයි. මහණෙනි, ස්ත්‍රී රසයෙහි, ඔවුහු බොහෝ ස්ත්‍රී රසයාගේ වසඟයට ගියාහු ශොක කරත්.

’’එක ස්පර්‍ශයකුත් සර්‍වඥතා ඥානයෙන් නොදකිමි. මහණෙනි, එනම් ස්ත්‍රී ස්පර්‍ශයයි. මහණෙනි, ස්ත්‍රී ස්පර්‍ශයෙහි, ඔවුහු බොහෝ ස්ත්‍රී ස්පර්‍ශයාගේ වසඟයට ගියාහු ශොක කරත්.

’’මහණෙනි, යමක් මෙසේ ඇළුම් කරන්නේද, මෙසේ කැමති වන්නේද, මෙසේ මත් කරන්නේද, මෙසේ බැඳ ගන්නේද, මෙසේ මුසපත් කරන්නේද, උතුම්වූ නිවණ ලැබීමට මෙසේ අනතුරු කරන්නේද,

’’මහණෙනි, එනම් සත්‍රීන් පිළිබඳ ස්පර්‍ශය මහණෙනි, සත්‍රීන් පිළිබඳ ස්පර්‍ශ කළ යුත්තෙහි සත්ත්‍වයෝ ඇළුනාහු, ගැටුනාහු, ගිජුවූවාහු, මුසපත්වූවාහු, ඇතුළත් වූවාහු වෙද්ද, ඒ ස්ත්‍රීන්ගේ ස්පර්‍ශ කළ යුත්තට වසඟවූවාහු බොහෝ කලක් ශොක කෙරෙත්.

’’මහණෙනි, ස්ත්‍රී තොමෝ යන්නීද, පුරුෂයාගේ සිත හාත්පස මැඩගෙන සිටියි. සිටියාද, හුන්නීද, ශයනය කරන්නීද, සිනාසෙන්නීද, කථා කරන්නීද, ගායනා කරන්නීද, හඬන්නීද, ඉදිමුණු තැනැත්තීද, මළ තැනැත්තීද පුරුෂයාගේ සිත හාත්පස මැඩගෙන සිටියි. මහණෙනි, මනාකොට කියන්නේ, ’මාරයාගේ හාත්පස මළපුඩුවය’ යි යමෙකුත් කියන්නේද, ස්ත්‍රියම මාරයාගේ හාත්පස මළපුඩුවයයි මනාකොට කියන්නෙක් එය කියන්නේය’’ යි වදාළ සේක.

’’කඩු ගත් අත් ඇත්තෙකු සමගද කථා කරන්නේය. අමනුෂ්‍යයෙකු සමගද කථා කරන්නේය. යමෙකු විසින් දෂ්ට කරණ ලද්දේ ජීවත් නොවේද? එබඳු සර්‍පයෙකුටද ලංවන්නේය.

’’එකළාවූයේ එකළාවූ මාගමක් (ස්ත්‍රියක්) සමග නොම කථා කරන්නේය. ඔවුහු මුළා සිහි ඇත්තහු බැලීමෙන්ද, සිනාවෙන්ද බැඳ ගනිත්.

’’තවද, නපුරුකොට හැඳීමෙන්ද, මිහිරි කථාවෙන්ද බැඳගණිත්. ඉදිමුනාවූද, මළාවූද මේ ජන තෙම ලංවීමට නුසුදු වේ.

’’සිත්කළුවූ රූපය, ශබ්දය, ගන්‍ධය, රසය, ස්පර්‍ශය යන මේ පස්කම් ගුණයෝම ස්ත්‍රී රූපයෙහි දක්නා ලැබෙත්.

’’කාම තෘෂ්ණා නමැති සැඩ පහරින් ගසාගෙන යන්නාවූ, කාමයන් පිරිසිඳ නොදන්නාවූ, ඔවුන්ගේ කාලය ගතිය සංසාරයෙහි පෙරටු කරණ ලද්දාහු වෙත්.

’’යම් කෙනෙකුන් කාමයන් පිරිසිඳ දැන, කොයිනුත් බියක් නැත්තාහු හැසිරෙද්ද, යම්කෙනෙක් ආශ්‍රවයන් නැසීමට පැමිණියාහුද, ඔවුහු ඒකාන්තයෙන් ලෝකයෙහි පරතෙරට ගියාහු හෙවත් නිවණට පැමිණියාහු වෙත්ය’’ යි වදාළ සේක.