අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

2. දෙවැනි පණ්ණාසකය

(7) 2. සඤ්ඤා වර්‍ගය

8. දුතිය උස්සොළ්හි පඤ්චම සූත්‍රය

’’මහණෙනි, මම සම්බොධියෙන් පූර්‍වයෙහිම බුදුබවට නොපැමිණියේ, බොධිසත්ත්‍ව වූයේම පඤ්ච ධර්‍මයක් වැඩූයෙමි. පඤ්ච ධර්‍මයක් බහුල වශයෙන් කෙළෙමි. කවර පඤ්ච ධර්‍මයක්ද යත්?

’’ඡන්‍දය හේතුකොට ගෙන ඇති සමාධිය ප්‍රධාන සංස්කාරය යන මෙයින් යුක්තව ඎද්‍ධිපාදය වැඩූයෙමි.

’’වීර්‍ය්‍යය හේතුකොට ගෙන ඇති සමාධිය ප්‍රධාන සංස්කාරය යන මෙයින් යුක්තව ඎද්‍ධිපාදය වැඩූයෙමි. චිත්තය හේතුකොට ඇති සමාධිය හේතුකොට ගෙන ඇති සමාධිය ප්‍රධාන සංස්කාරය යන මෙයින් යුක්තව ඎද්‍ධිපාදය වැඩූයෙමි. විමංසාව අධික මාත්‍ර උත්සාහය පස්වෙනිකොට ඇත්තේ වීමි.

’’මහණෙනි, ඒ මම වනාහි මේ අධික මාත්‍ර උත්සාහය පස්වෙනි කොට ඇති ධර්‍මයන් වැඩූ බැවින්, බහුල වශයෙන් කළ බැවින්, යම් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්මයක්හුගේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස සිත නැමූයෙම්ද, ඒ ඒ කාරණය ඇත් කල්හි, ඒ ඒ ධර්මයෙහිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණියෙමි. අනෙක ප්‍රකාරවූ ඉර්ධි විධිය අනුභව කරන්නෙමියි එකෙක්ව බොහෝ දෙනෙක් වෙත්. බොහෝ දෙනෙක්ව එකෙක් වෙයි. ප්‍රකට බවටද, මුවා වීමටද, භිත්තිය සරසටද, පවුර සරසටද, පව්ව සරසටද, අහසෙහි මෙන් නොගැටෙමින් යෙයි. ජලයෙහි මෙන් පොළවෙහිද කිමිදීම මතුවීම කෙරෙයි. පොළවෙහි මෙන් ජලයෙහිද දිය නොබෙදමින් යයි. පියාපත් ඇති පක්‍ෂියෙකු මෙන් අහසෙහිද පර්‍ය්‍යඞ්කයෙන් ගමන් කෙරෙයි. මෙසේ මහත් ඎද්‍ධි ඇත්තාවූ, මෙසේ මහත් ආනුභාව ඇත්තාවූ, මේ සඳ හිරු දෙදෙනද අතින් පිරිමදී. බඹලොව දක්වාත් කයින් වසඟයෙහි පවත්වයි. බමුණ, මේ ඎද්‍ධි ප්‍රාතිහාර්‍ය්‍යයයි කියනු ලැබේ. ඒ ඒ කරුණ ඇති කල්හි ඒ ඒ ධර්මයෙහිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණියෙමි. ඉදින් ඒ මම ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්‍හත් ඵල සමාධියට හා අර්හත් ඵල ප්‍රඥාවට මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරන්නෙමියි කැමතිවීම්ද, ඒ ඒ කරුණ ඇති කල්හි ඒ ඒ ධර්මයෙහිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණියෙමියි වදාළ සේක.’’