අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
2. සාරාණීය වර්‍ගය
8. මච්ඡඛන්‍ධ සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්‍ෂු සංඝයා සමග කොසොල් රට චාරිකා වෙහි හැසිරෙන සේක. දුර මගට පිළිපන් භාග්‍යවතුන් වහන්සේ එක්තරා ප්‍රදේශයක මසුන් මර මරා විකුණනු ලබන මසුන් අල්ලන්නෙකු දැකි සේක්මය. දැක මගින් ඉවත්ව එක්තරා රුක් මුලක පැනවූ අස්නෙහි වැඩ සිටි සේක. වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක.
’’මහණෙනි, අර මසුන් මර මරා විකුණනු ලබන මසුන් මරන්නා යුෂ්මත්හු දැක්කහුද ?’’ ’’එසේය, ස්වාමීනි.’’
’’මහණෙනි, එය කුමකැයි සිතන්නහුද ? මසුන් මර මරා විකුණනු ලබන මසුන් මරන්නෙක් ඒ කර්‍මයෙන් ඒ ජීවත්වීමෙන් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ යුෂ්මතුන් විසින් දැක තිබේද, අසා තිබේද ?’’ - ’’ස්වාමීනි, එය දැක නැත. අසා නැත.’’
’’මහණෙනි, යහපති. මසුන් මර මරා විකුණනු ලබන මසුන් මරන්නෙක් ඒ කර්‍මයෙන් ඒ ජීවත්වීමෙන් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ මා විසිනුදු නොදක්නා ලදී. නොඅසන ලදී. එයට හේතු කවරේද ? මහණෙනි, හෙතෙම මසුන් මරණ කල්හි මැරීමට ගන්නාවූ මසුන් දෙස පාපිවු සිතින් බලයි. එහෙයින් හෙතෙම ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ නොවේ.
’’මහණෙනි, එය කුමකැයි සිතන්නහුද ? මහණෙනි, ගවයන් මර මරා විකුණනු ලබන ගොඝාතකයෙක් ඒ කර්‍මයෙන් ඒ ජීවත්වීමෙන් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ යුෂ්මතුන් විසින් දැක තිබේද, අසා තිබේද ?’’ - ’’ස්වාමීනි, එය දැක නැත. අසා නැත.’’
’’මහණෙනි, යහපති, ගවයන් මර මරා විකුණනු ලබන ගොඝාතකයෙක් ඒ කර්‍මයෙන් ජීවත්වීමෙන් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ මා විසිනුදු නොදක්නා ලදී. එයට හේතු කවරේද? මහණෙනි, හෙතෙම ගවයන් මරණ කල්හි මැරීමට ඉදිරිපත් කරණ ගවයන් කෙරෙහි පාපීවූ සිතින් බලයි. එහෙයින් හෙතෙම ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ නොවන්නේය.
’’මහණෙනි, එය කුමකැයි සිතන්නහුද ? බැටලුවන් මරා විකුණනු ලබන බැටළුවන් මරන්නෙක් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ යුෂ්මතුන් විසින් දැක තිබේද, අසා තිබේද ?’’ - ’’ස්වාමීනි, එය දැක නැත. අසා නැත.’’
’’මහණෙනි, යහපති, බැටලුවන් මරා විකුණනු ලබන බැටලුවන් මරන්නෙක් ඒ කර්‍මයෙන් ජීවත්වීමෙන් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ මා විසිනුදු නොදක්නා ලදී. එයට හේතු කවරේද? මහණෙනි, හෙතෙම බැටලුවන් මරණ කල්හි මැරීමට ඉදිරිපත් කරණ බැටලුවන් කෙරෙහි පාපීවූ සිතින් බලයි. එහෙයින් හෙතෙම ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ නොවන්නේය.
’’මහණෙනි, එය කුමකැයි සිතන්නහුද ? මහණෙනි, ඌරන් මරා විකුණන සූකරිකයෙක් ඒ කර්‍මයෙන් ඒ ජීවත්වීමෙන් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ යුෂ්මතුන් විසින් දැක තිබේද, අසා තිබේද ?’’ - ’’ස්වාමීනි, එය දැක නැත. අසා නැත.’’
’’මහණෙනි, යහපති, ඌරන් මරා විකුණන සූකරිකයෙක් ඒ කර්‍මයෙන් ජීවත්වීමෙන් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ මා විසිනුදු නොදක්නා ලදී. එයට හේතු කවරේද? මහණෙනි, හෙතෙම ඌරන් මරණ කල්හි මැරීමට ඉදිරිපත් කරණ ඌරන් කෙරෙහි පාපීවූ සිතින් බලයි. එහෙයින් හෙතෙම ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ නොවන්නේය.
’’මහණෙනි, එය කුමකැයි සිතන්නහුද ? මහණෙනි, පක්‍ෂීන් මරා විකුණන සාකුන්තිකයෙක් ඒ කර්‍මයෙන් ඒ ජීවත්වීමෙන් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ යුෂ්මතුන් විසින් දැක තිබේද, අසා තිබේද ?’’ - ’’ස්වාමීනි, එය දැක නැත. අසා නැත.’’
’’මහණෙනි, යහපති, පක්‍ෂීන් මරා විකුණන සාකුන්තිකයෙක් ඒ කර්‍මයෙන් ජීවත්වීමෙන් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ මා විසිනුදු නොදක්නා ලදී. එයට හේතු කවරේද? මහණෙනි, හෙතෙම පක්‍ෂීන් මරණ කල්හි මැරීමට ඉදිරිපත් කරණ පක්‍ෂීන් කෙරෙහි පාපීවූ සිතින් බලයි. එහෙයින් හෙතෙම ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ නොවන්නේය.
’’මහණෙනි, එය කුමකැයි සිතන්නහුද ? මහණෙනි, මුවන් මරා විකුණන මෘගවිකයෙක් ඒ කර්‍මයෙන් ඒ ජීවත්වීමෙන් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ යුෂ්මතුන් විසින් දැක තිබේද, අසා තිබේද ?’’ - ’’ස්වාමීනි, එය දැක නැත. අසා නැත.’’
’’මහණෙනි, යහපති, මුවන් මරා විකුණනු ලබන මෘගවිකයෙක් ඒ කර්‍මයෙන් ජීවත්වීමෙන් ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ මා විසිනුදු නොදක්නා ලදී. එයට හේතු කවරේද? මහණෙනි, හෙතෙම මුවන් මරණ කල්හි මැරීමට ඉදිරිපත් කරණ මුවන් කෙරෙහි පාපීවූ සිතින් බලයි. එහෙයින් හෙතෙම ඇතුන් පිට යන්නේ හෝ, අසුන් පිට යන්නේ හෝ, රථයෙන් යන්නේ හෝ, අන්‍ය යානයකින් යන්නේ හෝ, භොගයන් අනුභව කරන්නේ හෝ මහත්වූ සම්පත් ලබා සිටින්නේ හෝ නොවන්නේය.
’’යම් මනෂ්‍යවූවකු මැරීමේදී මරණයට ඉදිරිපත් කරන්නා දෙස පාපීවූ සිතින් බලාද, (එයින් ඇතිවන විපාකය) කියනුම කවරේද ? මහණෙනි, එය වනාහි ඔහුට බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස වෙයි. කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොරවූ, අයහපත් ගති ඇති, නපුරු සේ වැටෙන නරකයෙහි උපදනේය.’’