අඞ්ගුත්තරනිකායො

අඨක නිපාතය

1. පඨම පණ්ණාසකය

1. මෙත්තා වර්‍ගය

3. අප්පිය පසංසී සූත්‍රය

’’මහණෙනි, කරුණු අටකින් යුක්තවූ භික්‍ෂුතෙම සබ්‍රම්සරුන්ට (භික්‍ෂූන්ට) අප්‍රියවෙයි, අමනාපද වෙයි, අගෞරවද වෙයි. සැලකිල්ලට භාජනද නොවෙයි.

’’කිනම් කරුණු අටකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම අප්‍රියවූ දුසිල් මහණුන්ට ප්‍රශංසා කරන්නේ වේද, ප්‍රියවූ සිල්වත් භික්‍ෂූන්ට ගර්හා කරන්නේ වේද, සිවුපස ලාභයෙහි ගිජුවූයේ වේද, සත්කාරයෙහි ගිජුවූයේ වේද, පාපයෙහි ලජ්ජා නැතිවූයේ වේද, පාපයෙහි භය නැතිවූයේ වේද, පවිටු අදහස් ඇත්තේද, මිසදිටු වුයේද, මහණෙනි, කරුණු අටකින් යුක්තවූ භික්‍ෂුතෙම සබ්‍රම්සරුන්ට (භික්‍ෂූන්ට) අප්‍රියවෙයි, අමනාපද වෙයි, අගෞරවද වෙයි. සැලකිල්ලට භාජනද නොවෙයි.

’’මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණතෙම සබ්‍රම්සරුන්ට ප්‍රියද වෙයි, මනාපද වෙයි, ගෞරවයද වෙයි. සැලකිල්ලට භාජනද වෙයි.

’’කිනම් කරුණු අටකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම අප්‍රියවූ දුසිල් මහණුන්ට ප්‍රශංසා නොකරන්නේ වේද, ප්‍රියවූ සිල්වත් භික්‍ෂූන්ට ගර්හා නොකරන්නේ වේද, සිවුපස ලාභයෙහි ගිජු නුවූයේ වේද, සත්කාර ලාභයෙහි ගිජු නුවූයේ වේද, පාපයෙහි ලජ්ජා ඇත්තේ වේද, පාපයෙහි භය ඇත්තේ වේද, අල්පේච්ඡ වූයේ වේද, සම්‍යක් දෘෂ්ටික වුයේද, මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණතෙම සබ්‍රම්සරුන්ට ප්‍රියද වෙයි, මනාපද වෙයි, ගෞරවයද වෙයි. සැලකිල්ලට භාජනද වෙයි.