අඞ්ගුත්තරනිකායො

අඨක නිපාතය

1. පඨම පණ්ණාසකය

5. උපොසථ වර්‍ගය

6. අනුරුද්‍ධමනාප කායික සූත්‍රය

එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිත නම් ආරාමයේ වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් අනුරුද්‍ධයන් වහන්සේ දිවා විහරණයට ගියේ, විවේක සහිත වූයේ වෙයි.

’’ඉක්බිත්තෙන් වනාහි බොහෝ (නිර්මාණ රතී) මනාප කායික නම් දේවතාවෝ ආයුෂ්මත් අනුරුද්‍ධයන් වහන්සේ කරා පැමුණුනාහ. පැමිණ, ආයුෂ්මත් අනුරුද්‍ධයන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි ඒ දෙවඟනෝ ආයුෂ්මත් අනුරුද්‍ධයන් වහන්සේට මෙය කීහ.

’’ස්වාමිනි, අපි මනාප කායික නම් දේවතාවෝ වෙමු. තුන් කරුණක (අධිපති කම) ඓශ්චර්යය කරමු. වසඟය පවත්වමු.

’’ස්වාමීනි, අනුරුද්ධ, අපි යම්බඳු පාටක් කැමැත්තෙමුද, එබඳු වර්ණයක් ස්ථාන වශයෙන් ලබමු. යම්බඳු ස්වරයක් කැමැත්තෙමුද, එබඳු ස්වරයක් ස්ථාන වශයෙන් ලබමු. යම්බඳු සැපයක් කැමැතිවමුද, එබඳු සැපයක් ස්ථාන වශයෙන් ලබමු. ස්වාමීනි, අනුරුද්ධ, අපි මනපකායිකා නම් දේවතාවෝ වෙමු. මේ තුන් කරුණෙහි අධිපතිභාවය කරමු. වසඟය පවත්වමු.’’

’’ඉක්බිති වනාහි ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මෙය සිතුණේය.

’’අනේ ඇත්තෙන් මේ සියලු දේවතාවෝ නිල් වෙත්වා, නිල්වන් වෙත්වා, නිල් ඇඳුම්, නිල් පළඳනා ඇත්තෝ වෙත්වා.’’ ඉක්බිත්තෙන් වනාහි ඒ දේවතාවෝ ආයුෂ්මත් අනුරුද්ධයන්ගේ සිත දැන සියල්ලෝම නිල් වුහ. නිල්වන් වූහ. නිල් ඇඳුම්, නිල් පළඳනා ඇත්තෝ වුහ.

’’ඉක්බිති වනාහි ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මෙය සිතුණේය.

’’අනේ ඇත්තෙන් මේ සියලු දේවතාවෝ රන්වන් වෙත්වා, රන්වන් වෙත්වා, රන්වන් ඇඳුම්, රන්වන් පළඳනා ඇත්තෝ වෙත්වා.’’ ඉක්බිත්තෙන් වනාහි ඒ දේවතාවෝ ආයුෂ්මත් අනුරුද්ධයන්ගේ සිත දැන සියල්ලෝම රන්වන් වුහ. රන්වන් වූහ. රන්වන් ඇඳුම්, රන්වන් පළඳනා ඇත්තෝ වුහ.

’’ඉක්බිති වනාහි ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මෙය සිතුණේය.

’’අනේ ඇත්තෙන් මේ සියලු දේවතාවෝ ලේවන් වෙත්වා, ලේවන් වෙත්වා, ලේවන් ඇඳුම්, ලේවන් පළඳනා ඇත්තෝ වෙත්වා.’’ ඉක්බිත්තෙන් වනාහි ඒ දේවතාවෝ ආයුෂ්මත් අනුරුද්ධයන්ගේ සිත දැන සියල්ලෝම ලේවන් වුහ. ලේවන් වූහ. ලේවන් ඇඳුම්, ලේවන් පළඳනා ඇත්තෝ වුහ.

’’ඉක්බිති වනාහි ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මෙය සිතුණේය.

’’අනේ ඇත්තෙන් මේ සියලු දේවතාවෝ සුදුපාට වෙත්වා, සුදුපාට වෙත්වා, සුදුපාට ඇඳුම්, සුදුපාට පළඳනා ඇත්තෝ වෙත්වා.’’ ඉක්බිත්තෙන් වනාහි ඒ දේවතාවෝ ආයුෂ්මත් අනුරුද්ධයන්ගේ සිත දැන සියල්ලෝම සුදුපාට වුහ. සුදුපාට වූහ. සුදුපාට ඇඳුම්, සුදුපාට පළඳනා ඇත්තෝ වුහ.

’’ඉක්බිත්තෙන් වනාහි ඒ සමහර දේවතා කෙනෙක් ගී කීහ. සමහර කෙනෙක් නැටූහ. සමහර කෙනෙක් අසුරු ගැසූහ. දක්‍ෂයන් විසින් මනාව වාදනය කළ සුවිනීත, මනාව පිළියෙළ වූ තූර්යයාගේ ශබ්දය, සුන්දර, රම්‍ය, කමනීය, ප්‍රේමනීය, මදනීය වේද, ඒ දේවතාවන්ගේ ශබ්දයද එසේම විය. ඉක්බිති වනාහි අනුරුද්ධයන් වහන්සේ ඉන්‍ද්‍රියයන් යට හෙළූ සේක. ඉක්බිති වනාහි ඒ දේවතාවෝ ආර්ය අනුරුද්ධයන් වහන්සේ ආශ්වාදය නොකෙරේයයි එහිම අතුරුදහන්වූහ.

ඉක්බිත්තෙන් වනාහි ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ සවස විවේකයෙන් නැගිටි සේක් භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.

’’ස්වාමීනි, මෙහි මම දිවා විහාරයට ගියේ, විවේක සහිත වූයේ වෙමි. ඉක්බිති, ස්වාමීනි, බොහෝ මනාපකායික දේවතාවෝ මා කරා පැමුණුණෝය. පැමිණ, මා වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි ඒ දේවතාවෝ මට මෙය කීහ.

’’ස්වාමිනි, අපි මනාප කායික නම් දේවතාවෝ වෙමු. තුන් කරුණක (අධිපති කම) ඓශ්චර්යය කරමු. වසඟය පවත්වමු.

’’ස්වාමීනි, අනුරුද්ධ, අපි යම්බඳු පාටක් කැමැත්තෙමුද, එබඳු වර්ණයක් ස්ථාන වශයෙන් ලබමු. යම්බඳු ස්වරයක් කැමැත්තෙමුද, එබඳු ස්වරයක් ස්ථාන වශයෙන් ලබමු. යම්බඳු සැපයක් කැමැතිවමුද, එබඳු සැපයක් ස්ථාන වශයෙන් ලබමු. ස්වාමීනි, අනුරුද්ධ, අපි මනපකායිකා නම් දේවතාවෝ වෙමු. මේ තුන් කරුණෙහි අධිපතිභාවය කරමු. වසඟය පවත්වමු.’’

’’ඉක්බිති වනාහි මට මෙය සිතුණේය.

’’අනේ ඇත්තෙන් මේ සියලු දේවතාවෝ නිල් වෙත්වා, නිල්වන් වෙත්වා, නිල් ඇඳුම්, නිල් පළඳනා ඇත්තෝ වෙත්වා.’’ ඉක්බිත්තෙන් වනාහි ඒ දේවතාවෝ මගේ සිත දැන සියල්ලෝම නිල් වුහ. නිල්වන් වූහ. නිල් ඇඳුම්, නිල් පළඳනා ඇත්තෝ වුහ.

’’ඉක්බිති වනාහි මට මෙය සිතුණේය.

’’අනේ ඇත්තෙන් මේ සියලු දේවතාවෝ රන්වන් වෙත්වා, රන්වන් වෙත්වා, රන්වන් ඇඳුම්, රන්වන් පළඳනා ඇත්තෝ වෙත්වා.’’ ඉක්බිත්තෙන් වනාහි ඒ දේවතාවෝ මගේ සිත දැන සියල්ලෝම රන්වන් වුහ. රන්වන් වූහ. රන්වන් ඇඳුම්, රන්වන් පළඳනා ඇත්තෝ වුහ.

’’ඉක්බිති වනාහි ආයුෂ්මත් මට මෙය සිතුණේය.

’’අනේ ඇත්තෙන් මේ සියලු දේවතාවෝ ලේවන් වෙත්වා, ලේවන් වෙත්වා, ලේවන් ඇඳුම්, ලේවන් පළඳනා ඇත්තෝ වෙත්වා.’’ ඉක්බිත්තෙන් වනාහි ඒ දේවතාවෝ මගේ සිත දැන සියල්ලෝම ලේවන් වුහ. ලේවන් වූහ. ලේවන් ඇඳුම්, ලේවන් පළඳනා ඇත්තෝ වුහ.

’’ඉක්බිති වනාහි ආයුෂ්මත් මට මෙය සිතුණේය.

’’අනේ ඇත්තෙන් මේ සියලු දේවතාවෝ සුදුපාට වෙත්වා, සුදුපාට වෙත්වා, සුදුපාට ඇඳුම්, සුදුපාට පළඳනා ඇත්තෝ වෙත්වා.’’ ඉක්බිත්තෙන් වනාහි ඒ දේවතාවෝ මගේ සිත දැන සියල්ලෝම සුදුපාට වුහ. සුදුපාට වූහ. සුදුපාට ඇඳුම්, සුදුපාට පළඳනා ඇත්තෝ වුහ.

’’ඉක්බිත්තෙන් වනාහි ඒ සමහර දේවතා කෙනෙක් ගී කීහ. සමහර කෙනෙක් නැටූහ. සමහර කෙනෙක් අසුරු ගැසූහ. දක්‍ෂයන් විසින් මනාව වාදනය කළ සුවිනීත, මනාව පිළියෙළ වූ තූර්යයාගේ ශබ්දය, සුන්දර, රම්‍ය, කමනීය, ප්‍රේමනීය, මදනීය වේද, ඒ දේවතාවන්ගේ ශබ්දයද එසේම විය. ඉක්බිති වනාහි මම ඉන්‍ද්‍රියයන් යට හෙළූ සේක. ඉක්බිති වනාහි ඒ දේවතාවෝ මා ආශ්වාදය නොකෙරේයයි එහිම අතුරුදහන්වූහ.

’’සවාමීනි, කොපමණ කරුණුවලින් යුත් ස්ත්‍රිය කය බිඳීමෙන් මරණින් පසු මනාපකායික නම් දේවතාවන් හා සම භාවයට යන්නීද?’’

’’අනුරුද්ධ, කරුණු අටකින් යුත් ස්ත්‍රිය කය බිඳීමෙන් මරණින් පසු මනාපකායික නම් දේවතාවන් හා සම භාවයට යන්නීය. කවර අටකින්ද යත්, අනුරුද්ධය, මෙහි ස්ත්‍රිය, වැඩ කැමැති, හිතෛෂී, අනුකම්පාවත්, මව්පියවරු, අනුකම්පා උපදවා යම් පුරුෂයෙකුට දෙත්ද, ඒ ස්වාමියාට පළමුව නැගිටින්නී, පසුව නිදන්නී, කීකරුව ඇහුම්කන් දෙන්නී, හිත කැමැත්තට අනුව හැසිරෙන්නී, පිය බස් කථා කරන්නී වේද, ස්වාමියාට, මවුය, පියාය, මහණය, බමුණුයයි යම් ඒ ගුරු කෙනෙක් වෙත්ද, ඔවුනට සත්කාර කෙරේද, ගරු කෙරේද, බුහුමන් කෙරේද, පුදාද, පැමිණි කල්හි අසුන්වලින්, ජලයෙන් සලකාද, ස්වාමියාගේ ලොම් වැඩය, කපු වැඩයයි, යම් ඒ ඇතුළත කර්මාන්ත කොටසක් වේද, එහි දක්‍ෂ වන්නීද, අලස නැත්තී වේද. එහි වෙහෙස ගන්නී වේද, විමසීමෙන් යුක්තවූවා, කාර්යයට සුදුසු වේද, සංවිධානයට සුදුසු වේද, ස්වාමියාට දාසයයි හෝ, දූතයයි හෝ, කම්කරුයයි හෝ යම් ඒ අභ්‍යන්තර වූවෙක්, ඇතුළත ජනයෙක් වේද, ඔවුන් විසින් කරණ ලද්ද, කරණ ලද්ද වශයෙන් දනිද, නොකරණ ලද්ද, නොකරණ ලද්ද වශයෙන් දනීද. ලෙඩ වූවන්ගේ බැරි පිළිවන් කම් දනීද, ඔවුන්ට කෑ යුත්ත, බිදිය යුත්ත කොටස් කොට දේද, ස්වාමියා යම් ධනයක්, ධාන්‍යයක්, රිදියක්, රනක්, ගෙන ඒද, එය රැක්මෙන්, සැඟවීමෙන් සම්පාදනය කරයිද, එහි සෙර නොවන්නී, සල්ලාල නොවන්නී, සොඬ නොවන්නී, නොනසන්නී වේද, බුද්‍රන්ගේ සරණ ගිය උපාසිකාවක් වේද, දහම් සරණ ගිය උපාසිකාවක් වේද, සඟ සරණ ගිය උපාසිකාවක් වේද, සතුන් මැරීමෙන් වෙන්ව, නුදුන් දෙය ගැන්මෙන් වෙන්ව, අනාචාරයෙන් වෙන්ව, බොරු කීමෙන් වෙන්ව, මදයට හා ප්‍රමාදයට හේතුවන රාමෙර (මත්පැන්) බීමෙන් වෙන්ව, සිල්වතියක් වේද, පහවූ මසුරු මළින් යුත්, සිතෙන් මිදූ ත්‍යාග ඇත්තී, පිරිසිදු අත් ඇත්තී, පරිත්‍යාගයෙහි ඇලුණී, ඉල්ලීමට සුදුසු වූවා, දාන සංවිධානයෙහි ඇලුණී, ගිහි ගෙය වෙසේද,

’’අනුරුද්ධය, මේ අංග අටින් යුත් ස්ත්‍රිය කය බිඳීමෙන් මරණින් පසු මනාපකායික නම් දේවියන් හා සම බවට පැමිණ උපදී.

(1) ’’යමෙක් නිතර, සෑමදාම තැවෙන්නේ, උත්සුක වන්නේ, ඇය පොෂණය කරයිද, සියලු කැමැති දෙය හැරගෙන එන, පෝෂණය කරණ ඒ පුරුෂයා ඉක්ම නොසිටින්නීද,

(2) ’’යහපත් ස්ත්‍රිය ස්වාමියාට හිතුවක්කාර වචනයෙන් කෝප නොකරන්නීද, ස්වාමියාට ගුරුවූ සියල්ලන් නුවණැත්තීව පුදන්නීද,

(3) නැගී සිටින්නී, අලස නැත්තී, සංග්‍රහ කරණ ලද පිරිවර ජනයා ඇත්තී, ස්වාමියා සතුටු කරන්නී, හැසිරේද, උපයන ලද්ද රකීද,

(4) ’’ස්වාමියාගේ කැමැත්තට වසඟවන, යම් ස්ත්‍රියක් මෙසේ පවතිද, ඕතොමෝ යම් තැනක මනාපකායිකා දේවතාවෝ (-නිර්මාන රතී) වෙත්ද, එහි උපදී.’’