අඞ්ගුත්තරනිකායො
අඨක නිපාතය
1. පඨම පණ්ණාසකය
5. උපොසථ වර්‍ගය
7. විශාඛාමනාපකායික සූත්‍රය
’’එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර මිගාර මාතාව විසින් කරවන ලද පූර්‍වාරාමයෙහිවූ ප්‍රාසාදයෙහි වාසය කරන සේක. ඉක්බිති වනාහි මිගාර මාතාව නම්වූ විශාඛාව භාග්‍යවතුන් වහන්සෙ කරා පැමිණියාය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නාය. එකත් පසෙක හුන් මිගාර මාතා නම්වූ විශාඛාවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
’’විශාඛාවෙනි, කරුණු අටකින් යුත් ස්ත්‍රිය කය බිඳීමෙන් මරණින් පසු මනාපකායික නම් දේවතාවන් හා සම භාවයට යන්නීය.
’’කවර කරුණු අටකින්ද යත්? විශාඛාවෙනි, මෙහි ස්ත්‍රිය, වැඩ කැමැති, හිතෛෂී, අනුකම්පාවත්, මව්පියවරු, අනුකම්පා උපදවා යම් පුරුෂයෙකුට දෙත්ද, ඒ ස්වාමියාට පළමුව නැගිටින්නී, පසුව නිදන්නී, කීකරුව ඇහුම්කන් දෙන්නී, හිත කැමැත්තට අනුව හැසිරෙන්නී, පිය බස් කථා කරන්නී වේද, ස්වාමියාට, මවුය, පියාය, මහණය, බමුණුයයි යම් ඒ ගුරු කෙනෙක් වෙත්ද, ඔවුනට සත්කාර කෙරේද, ගරු කෙරේද, බුහුමන් කෙරේද, පුදාද, පැමිණි කල්හි අසුන්වලින්, ජලයෙන් සලකාද, ස්වාමියාගේ ලොම් වැඩය, කපු වැඩයයි, යම් ඒ ඇතුළත කර්මාන්ත කොටසක් වේද, එහි දක්‍ෂ වන්නීද, අලස නැත්තී වේද. එහි වෙහෙස ගන්නී වේද, විමසීමෙන් යුක්තවූවා, කාර්යයට සුදුසු වේද, සංවිධානයට සුදුසු වේද, ස්වාමියාට දාසයයි හෝ, දූතයයි හෝ, කම්කරුයයි හෝ යම් ඒ අභ්‍යන්තර වූවෙක්, ඇතුළත ජනයෙක් වේද, ඔවුන් විසින් කරණ ලද්ද, කරණ ලද්ද වශයෙන් දනිද, නොකරණ ලද්ද, නොකරණ ලද්ද වශයෙන් දනීද. ලෙඩ වූවන්ගේ බැරි පිළිවන් කම් දනීද, ඔවුන්ට කෑ යුත්ත, බිදිය යුත්ත කොටස් කොට දේද, ස්වාමියා යම් ධනයක්, ධාන්‍යයක්, රිදියක්, රනක්, ගෙන ඒද, එය රැක්මෙන්, සැඟවීමෙන් සම්පාදනය කරයිද, එහි සෙර නොවන්නී, සල්ලාල නොවන්නී, සොඬ නොවන්නී, නොනසන්නී වේද, බුද්‍රන්ගේ සරණ ගිය උපාසිකාවක් වේද, දහම් සරණ ගිය උපාසිකාවක් වේද, සඟ සරණ ගිය උපාසිකාවක් වේද, සතුන් මැරීමෙන් වෙන්ව, නුදුන් දෙය ගැන්මෙන් වෙන්ව, අනාචාරයෙන් වෙන්ව, බොරු කීමෙන් වෙන්ව, මදයට හා ප්‍රමාදයට හේතුවන රාමෙර (මත්පැන්) බීමෙන් වෙන්ව, සිල්වතියක් වේද, පහවූ මසුරු මළින් යුත්, සිතෙන් මිදූ ත්‍යාග ඇත්තී, පිරිසිදු අත් ඇත්තී, පරිත්‍යාගයෙහි ඇලුණී, ඉල්ලීමට සුදුසු වූවා, දාන සංවිධානයෙහි ඇලුණී, ගිහි ගෙය වෙසේද, විශාඛාවෙනි, මේ කරුණු අටෙන් යුක්තවූ ස්ත්‍රීතොමෝ කය බිඳීමෙන් මරණින් පසු මනාපකායික නම් දේවියන් හා එක්ව උපදියි.
(1) ’’යම් පුරුෂයෙක් සියලු කල්හි නිතර තැවීම් ඇත්තේ, උත්සාහවත්ව ස්ත්‍රියක් පොෂ්‍යය කෙරේද, ඕතොමෝ සියලු කැමති දෙය දෙන්නාවූ, ස්වාමීවු, ඒ පුරුෂයා ඉක්මවා නොසිතන්නීය.
(2) ’’යහපත් ස්ත්‍රී තොමෝ ස්වාමිපුරුෂයා කැමැත්තෙන් හැසිරීම හේතුකොටගෙන කෝපද නොකරන්නීය. ස්වාමියාගේද මව් පිය පිදියයුතු සියල්ලන්ට නුවණැති ස්ත්‍රීතොමෝ පුදන්නීය.
(3) ’’නැගී සිටි වීර්‍ය්‍ය ඇති, අලස නුවූ, සඞ්ග්‍රහ කරණ ලද පිරිවර ජනයා ඇති ස්ත්‍රීතොමෝ, ස්වාමියාගේ සිත සතුටු කරවන්නී, හැසිරෙන්නීය. ස්වාමීහු විසින් උපයන ලද දෙය රක්‍ෂා කරන්නීය.
(4) ’’ස්වාමියාගේ කැමැත්ත අනුව ගියාවූ යම් ස්ත්‍රියක් තොමෝ මෙසේ පවතින්නීද, ඕ තොමෝ, මනාප නම්වූ ඒ දෙවියෝ යම් තැනකද, ඒ දිව්‍ය ලෝකයෙහි උපදින්නීය.’’