අඞ්ගුත්තරනිකායො

අඨක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(9) 4. සති වර්‍ගය

4. මහා චොරඞ්ග සූත්‍රය

’’මහණෙනි, අංග අටකින් යුත් මහ හොරා වහා අල්ලාගනු ලැබේ. වැඩි කල් සිටින්නෙක් නොවේ.

’’කවර අටෙකින්ද යත්? නොගසන්නහුට ගසාද, ඉතිරි නොකර ගෙනයාද, ගැහැනුන් මරාද, තරුණියන් දූෂණය කරාද, පැවිද්දාගෙන් සොරකම් කරාද, භාණ්ඩාගාරය සොරකම් කරාද, ඉතා කිට්ටුව කටයුතු කෙරේද, සැඟවූ ධනයෙහි දක්‍ෂ නොවේද, (කියාය.) මහණෙනි, අංග අටකින් යුත් මහ හොරා වහා අල්ලාගනු ලැබේ. වැඩි කල් සිටින්නෙක් නොවේ.

’’මහණෙනි, අංග අටකින් යුත් මහ හොරා වහා අල්ලාගනු නොලැබේ. වැඩි කල් සිටින්නේ වේ.

’’කවර අටෙකින්ද යත්? නොගසන්නාට නොගසාද, ඉතිරි නොකර පැහැර නොගනීද, ගැහැනුන් නොමරාද, තරුණියන් දූෂණය නොකෙරේද, පැවිද්දාගෙන් සොරකම් නොකරාද, භාණ්ඩාගාරය සොරකම් නොකෙරේද, ඉතා කිට්ටුව කටයුතු නොකෙරේද, සැඟවූ ධනයට දක්‍ෂ වේද, (යනුය.) මහණෙනි, අංග අටකින් යුත් මහ හොරා වහා අල්ලාගනු නොලැබේ. වැඩි කල් සිටින්නේ වේ.’’