ඛුද්දක නිකාය
ඉතිවුත්තකය
2. දුක නිපාතය
1. සංවෙජනීය වර්ගය
1. (අගුත්තද්වාරින්ද්‍රිය) භික්ෂු සූත්‍රය
“මහණෙනි, (අකුශල) ධර්ම දෙකකින් යුක්තවූ මහණ තෙමේ මේ ආත්ම බවෙහිම බලවත් ආයාස ඇතිව ක්ලෙශ සන්තාපයෙන්ද ක්ලෙශ පරිදාහයෙන්ද දැවිලි ඇතිව දුකසේ වෙසෙයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි දුගති තොමෝ කැමතිවිය යුත්තීය. කවර දෙකකින්ද යත් නොවසන ලද දොර ඇති බවද අහරෙහි පමණ නොදන්නා බවද (යන දෙකිනි.)
“මහණෙනි, මේ (අකුශල) ධර්ම දෙකින් යුත් මහණ තෙමේ මේ ආත්ම බවෙහිම පීඩා ඇතිව දැඩි ආයාස ඇතිව හාත්පස දාහ ඇතිව දුකසේ වාසය කෙරේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි දුගති තොමෝ කැමැති විය යුත්තීයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
මේ සස්නෙහි යම් මහණෙකුගේ ඇසද, කණද, නැහැයද, දිවද, කයද එසේම සිතද (යන) මේ දොරවල් නොවසන ලද්දාහු වෙද්ද.
“ඉඳුරන්හි සංවර නැත්තාවූ බොජුනෙහි පමණ නොදත් ඒ මහණතෙමේ කායික දුකටද චෛතසික දුකටද පැමිණේ.
“එබඳු පුද්ගලතෙමේ ඉදින් දවල්හි වේවයි, රෑ වේවයි දනුලබන්නාවූ කයින්ද දැවෙන සිතින්ද දුකසේ වෙසේයයි.”