ඛුද්දක නිකාය
ඉතිවුත්තකය
2. දුක නිපාතය
1. සංවෙජනීය වර්ගය
2. (ගුත්තද්වාරින්ද්‍රිය) සූත්‍රය
“මහණෙනි (කුශල) ධර්ම දෙකකින් යුත් මහණතෙමේ මේ ආත්මභාවයෙහිම පීඩා නැතිව දැඩි ආයාස නැතිව හැම ලෙසින් දැවිලි නැතිව සුවසේ වෙසෙයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි, සුගති තොමෝ කැමැති විය යුත්තීය. කවර දෙකකින්ද යත් ඉඳුරන්හි වසන ලද දොර ඇති බැවින්ද ආහාරයෙහි පමණ දත් බැවින්ද යන දෙකිනි.)
“මහණෙනි, මේ ධර්ම දෙකින් යුත් මහණ තෙමේ මේ ආත්මභාවයෙහිම පීඩා නැතිව දැඩි ආයාස නැතිව හාත්පස දාහ නැතිව සුවසේ වෙසේය.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක, එහි (ගාථාවෙන්) මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“මේ සස්නෙහි යම් මහණෙකුගේ ඇසද, කණද, නැහැයද, දිවද කයද යළි සිතද (යන) මේ දොරවල් මනාව වසන ලද්දාහු වෙද්ද.
“ඉන්ද්‍රියයන්හිද සංවරවූ ඒ මහණතෙම බොජුනෙහි පමණ දන්නේත් වේද, (ඒ මහණතෙමේ) කායික සැපය චෛතසික සැපය (යන) හැම සැපයට පැමිණේ.
“එබඳු මහණතෙමේ දවල්හි හෝ රෑ හෝ නොදැවෙන කයින්ද නොදැවෙන සිතින්ද සුවසේ වෙසේයයි.”