ඛුද්දක නිකාය
ඛුද්දක පාඨය
8. නිධිකණ්ඩ සූත්‍රය
“හිත සැප ගෙනදෙන කටයුත්තක් පැමිණි කල්හි මට ප්‍රයෝජන පිණිස වන්නේයයි සිතා පුරුෂතෙම පොළොව ගැඹුරුවූ ජල සමීපයෙහි (එතරම් යට) නිධානයක් පිහිටුවයි.
සතුරන් විසින් නපුරුකොට කියන ලද (නඩුවකට මූණපෑ) මට රජුන්ගෙන් මිදීම පිණිසද සොරුන් විසින් පෙලන ලද මට සොරුන්ගෙන් මිදීම පිණිසද ණයවූ මට ඒ ණයෙන් මිදීම පිණිසද දුර්භික්ෂකාලයෙහි හෝ හිරිහැර විපත් ඇතිකල්හි හෝ මෙකී වැඩ නිපදවනු පිණිස ලොව නිධාන නම් දෑ පිහිටවනු ලැබේ.
“දිය මතුවන තැනට සමීපවූ ගැඹුරු වළෙහි එතරම් මනාකොට පිහිටුවන ලද්දේ වන්නේද, ඒ සියලු නිධානය හැම කල්හිම එසේ ඔහුට නොපැමිණේ, නොලැබේ.
“ඒ නිධානය තිබූ තැනින් පහවන්නේ හෝ වේ. ඔවුන්ගේ සංඥාව හෝ මුළාවන්නේය. නාගයෝ හෝ එය ඉවත් කරන්නේය. යකෙකු හෝ එය හැරගෙන යන්නෝය.
“අප්‍රිය උරුමක්කාරයෝ හෝ නොදැක්කදීම එය ගොඩ ගනිත්. යම්කලෙක පින් ගෙවේද එකල්හි මේ නිධන්ගත වස්තුව වැනසේ.
“යම් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක විසින් දීමෙන් සිල් රැකීමෙන් හෝ චිත්තසංයමයෙන් හෝ කෙලෙස් සන්සිඳුවීමෙන් හෝ චෛත්‍යයෙහි සංඝයා විෂයයෙහි පුද්ගලයෙකු කෙරෙහි අමුත්තන් කෙරෙහි මව කෙරෙහි පියා කෙරෙහි නැවත දෙටුබෑයා කෙරෙහි හෝ දානමානාදී වශයෙන් හෝ පුණ්‍ය නිධානයෙක් මැනවින් පිහිටුවන ලදද?
“අනුන් විසින් දිනාගත නොහැකිවූ එය කළාහු අනුවම යන්නාවූ මේ නිධානය මැනවින් පිහිටවනු ලද්දේවේ. මැරෙන සමයෙහි සියලු භොගයන් හැරදමා යායුතු කල්හි මේ පුණ්‍ය නිධානය වූකලී හෙතෙම අත්නොහැරගෙනම යෙයි.
යම් පුණ්‍ය නිධානයෙක් එය කළාහු අනුව යන්නේවේද, එය කළාහට විනා අනුනට සාධාරණ නොවන්නේද, යම් පුණ්‍ය නිධානයෙක් සොරුන් විසින් පැහැරගතහැකි නොවන්නේද නුවණැත්තේ ඒ නිධාන නම්ලත් පින් කරන්නේය.
“මේ පින් දෙවිමිනිසුනට සියලු කැමති දේ දෙන නිධානයයි. යමක් ඔහු පතත්ද ඒ සියල්ල මේ පුණ්‍ය නිධාන හේතුවෙන් ලැබේ.
“උපනුපන් තැන මනා පැහැති බව මනා කටහඬ ඇති බව මනා සටහන් හා මනා සිරුර ඇති බව අධිපති බව හා පිරිවර යන සියල්ල මේ පුණ්‍ය නිධාන හේතුවෙන් ලැබේ.
“ප්‍රදේශ රජ බවද ද්විපාධිපති බවද ප්‍රියවූ සක්විති සැපද දෙවියන් අතරෙහි දෙව්රජ බවද යන සියල්ල මේ පින් හේතුවෙන් ලැබේ.
“යම් මානුෂික සම්පතක්වේද, දෙව්ලොව යම් රතියකුත් වේද යම් නිවන් සැපතක් වේද, ඒ සියල්ල මේ පින් හේතුවෙන් ලැබේ.
“මිත්‍ර සම්පත්තිය නිසා නිසිපරිදි යොගභාවනාහි යෙදෙන්නහුට ත්‍රිවිද්‍යා ද විමුක්තීන්හි වශී බවද යන සියල්ල මේ පිනින් ලැබේ.
“සිවුපිළිසිඹියාද අෂ්ට විමොක්ෂ ද යම් ශ්‍රාවක පාරමී ඤාණයෙක් වේනම් එයද පසේ බුදු බවද සම්‍යක් සම්බුද්ධත්වයද යන සියල්ල මේ පිනින් ලැබේ.
“යම් මේ පුණ්‍ය සම්පත්තියක් වේද; එය මෙසේ මහත් ප්‍රයෝජන පිණිස පවතී. එබැවින් ධෛර්ය්යවත් නුවණැත්තෝ කළ පින් ඇති බව වණත්.”
නිධිකණ්ඩසුත්තං නිට්ඨිතං.