ඛුද්දක නිකාය

ඛුද්දක පාඨය

9. කරණීය මෙත්ත සූත්‍රය

“ශාන්තපදය (නිවණ) ලෞකික ඤාණයෙන් අනුමානයෙන් හා ඇදහීමෙන් දැන (එය ලබනු පිණිස) යමක් කටයුතු නම් එය තමාගේ අභිවෘද්ධියෙහි දක්‍ෂ තැනැත්තහු විසින් කළ යුතුය. ඔහු දක්‍ෂ වියයුතු, සෘජු වියයුතු, වඩාත් සෘජුවියයුතු, සුවච වියයුතු, මෘදුවියයුතු උඩඟු නොවියයුතු.

“ලද දෙයින් සතුටු වියයුතු පහසුවෙන් පෝෂණය කටහැක්කකු වියයුතු, බොහෝ වැඩ කටයුතු ඇත්තකු නොවියයුතු, සැහැල්ලු පැවතුම් ඇත්තකු වියයුතු, සන්සුන් ඉඳුරන් ඇත්තකු වියයුතු, ප්‍රඥා සම්පන්න වියයුතු, නොසරුප් කියුම් කෙරුම් සිතුම් නැත්තකු වියයුතු, කුලය කෙරෙහි නොඇලියයුතු.

“යමකින් අන් නුවණැත්තෝ දොස් නගන්නේ නම් එබඳු අල්පවූද කිසි දුසිරිතක් නොකළ යුතු. “සියලු සත්හු සුවැත්තෝ වෙත්වායි” කියා හෝ නිරුපද්‍රව වෙත්වායි කියා හෝ මෙත් වැඩිය යුතු.

“සැලෙන සත්හුද නොසැලෙන සත්හුද, දික් සත්හුද මහත් සත්හුද මැදුම් පමණ සත්හුද මිටි සත්හුද ඉතා කුඩා සත්හුද, තර සත්හුද යන යම් සත්ව කෙනෙක් වෙත්ද ඒ සියල්ලෝ සුවපත් වෙත්වා.

“ඇස් හමුවූද, ඇස් හමුනොවූද දුර වසන්නාවූද ලඟ වසන්නාවූද, පහළවූද, පහළවන්නෝවූද සියලු සත්හු සුවපත් සිතැති වෙත්වා.

“කිසිම තැනෙක්හි එකෙක් අනිකෙකු නොරවටාවා. ඒ කිසිවකු හෙළානොදකීවා. කයින් වචනින් ගැටීමකින් හෝ තරහයෙන් සිත් පෙරලියෙන් හෝ එකෙක් අනිකෙකුහට දුකක් කැමති නොවේවා.

“මව යම්සේ තමාගේ එකම දරුවා (සියදිවි පුදාත්) රක්නේද, එසේම සියලු සතුන් කෙරෙහි අප්‍රමාණවූ මෙත් සිත් වැඩිය යුතුයි.

“අප්‍රමාණවූ සම්බාධ නැති වෛර චේතනා නැති, සතුරන් නැති මෛත්‍රී සහගත සිත සියලු ලොවෙහි උඩද යටද සරසද යන හැමදෙසෙහිම වැඩිය යුතුයි.

“යම්තාක් වේලා පහවූ නිදි ඇතිවන්නේද ඒතාක්ම සිටිමින් හෝ හිඳිමින් හෝ ඇවිදිමින් හෝ ඉඳිමින් මේ මෛත්‍රී ධ්‍යානය ඉටිය යුතු. මේ මේ සස්නෙහි ශ්‍රෙෂ්ඨ විහරණයයි බුද්ධාදී උතුමෝ කීහු.

“මෙසේ සිල්වත් තැනැත්තේ මිථ්‍යා දෘෂ්ටියට නොපැමිණ සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තව කාමයන්හි ඇල්ම හැරීමෙන් කිසිකලෙකත් මතු මවුකුසෙක හෝනා බවට නොපැමිණෙන්නේය.”

කරණීය මෙත්ත සූත්‍රය නිමි

ඛුද්දක පාඨය නිමි