සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

3. දසබල වර්ගය

10. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී, භාග්‍යවතුන්වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ජරා මරණය නොදනිත්ද, ජරා මරණය ඇතිවීම නොදනිත්ද, ජරා මරණය නැතිවීම නොදනිත්ද, ජරා මරණය නැතිවෙන මාර්ගය නොදනිත්ද, ඔවුහු වනාහි ජරා මරණය ඉක්මවා සිටිති, යන මෙය විද්‍යමාන නොවේ.

“ඉපදීම නොදනිත්ද, ඉපදීම ඇතිවීම නොදනිත්ද, ඉපදීම නැතිවීම නොදනිත්ද, ඉපදීම නැතිකරන මාර්ගය නොදනිත්ද, ඔවුහු වනාහි ජාතිය (ඉපදීම) ඉක්මවා සිටිති යන මෙය විද්‍යමාන නොවේ.

“භවය නොදනිත්ද, භවය ඇතිවීම නොදනිත්ද, භවය නැතිවීම නොදනිත්ද, භවය නැතිකරන මාර්ගය නොදනිත්ද, ඔවුහු වනාහි භවය ඉක්මවා සිටිති යන මෙය විද්‍යමාන නොවේ.

“උපාදානය (දැඩිව ඇල්ම) නොදනිත්ද, උපාදානය ඇතිවීම නොදනිත්ද, උපාදානය නැතිවීම නොදනිත්ද, උපාදානය නැතිකරන මාර්ගය නොදනිත්ද, ඔවුහු වනාහි උපාදානය ඉක්මවා සිටිති යන මෙය විද්‍යමාන නොවේ.

“තණ්හාව නොදනිත්ද, තණ්හාව ඇතිවීම නොදනිත්ද, තණ්හාව නැතිවීම නොදනිත්ද, තණ්හාව නැතිකරන මාර්ගය නොදනිත්ද, ඔවුහු වනාහි තණ්හාව ඉක්මවා සිටිති යන මෙය විද්‍යමාන නොවේ.

“වේදනාව නොදනිත්ද, වේදනාව ඇතිවීම නොදනිත්ද, වේදනාව නැතිවීම නොදනිත්ද, වේදනාව නැතිකරන මාර්ගය නොදනිත්ද, ඔවුහු වනාහි වේදනාව ඉක්මවා සිටිති යන මෙය විද්‍යමාන නොවේ.

“ස්පර්ශය නොදනිත්ද ස්පර්ශය ඇතිවීම නොදනිත්ද, ස්පර්ශය නැතිවීම නොදනිත්ද, ස්පර්ශය නැතිකරන මාර්ගය නොදනිත්ද, ඔවුහු වනාහි ස්පර්ශය ඉක්මවා සිටිති යන මෙය විද්‍යමාන නොවේ.

“සළායතන (ඉන්ද්‍රිය) නොදනිත්ද, සළායතන ඇතිවීම නොදනිත්ද, සළායතන නැතිවීම නොදනිත්ද, සළායතන නැතිකරන මාර්ගය නොදනිත්ද, ඔවුහු වනාහි සළායතන ඉක්මවා සිටිති යන මෙය විද්‍යමාන නොවේ.

“නාමරූපය නොදනිත්ද නාමරූප ඇතිවීම නොදනිත්ද, නාමරූප නැතිවීම නොදනිත්ද, නාමරූප නැතිකරන මාර්ගය නොදනිත්ද ඔවුහු වනාහි නාමරූප ඉක්මවා සිටිති යන මෙය විද්‍යමාන නොවේ.

“විඤ්ඤාණය නොදනිත්ද, විඤ්ඤාණය ඇතිවීම නොදනිත්ද, විඤ්ඤාණය නැතිවීම නොදනිත්ද, විඤ්ඤාණය නැතිකරන මාර්ගය නොදනිත්ද ඔවුහු වනාහි විඤ්ඤාණය ඉක්මවා සිටිති යන මෙය විද්‍යමාන නොවේ.

“සංස්කාර නොදනිත්ද, සංස්කාර ඇතිවීම නොදනිත්ද, සංස්කාර නැතිවීම නොදනිත්ද, සංස්කාර නැතිකරන මාර්ගය නොදනිත්ද, ඔවුහු වනාහි සංස්කාරය ඉක්මවා සිටිති යන මෙය විද්‍යමාන නොවේ.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ජරාමරණය දනිත්ද, ජරාමරණය ඇතිවීම දනිත්ද, ජරා මරණය නැතිවීම දනිත්ද, ජරා මරණය නැතිකරන මාර්ගය දනිත්ද, ඔවුහු වනාහි ජරා මරණය ඉක්මවා සිටිති යන මෙය විද්‍යමාන වේ.

“ජාතිය (ඉපදීම) දනිත්ද, ජාතිය (ඉපදීම) ඇතිවීම දනිත්ද, (ජාතිය) ඉපදීම නැතිවීම දනිත්ද, ජාතිය (ඉපදීම) නැතිකරන මාර්ගය දනිත්ද, ඔවුහු වනාහි ජාතිය (ඉපදීම) ඉක්වා සිටිති යන මෙය විද්‍යමාන වේ.

“භවය දනිත්ද, භවය ඇතිවීම දනිත්ද, භවය නැතිවීම දනිත්ද, භවය නැතිකරන මාර්ගය දනිත්ද, ඔවුහු වනාහි භවය ඉක්මවා සිටිති යන මෙය විද්‍යමාන වේ.

“උපාදානය (තද ඇල්ම) දනිත්ද, උපාදානය ඇතිවීම දනිත්ද, උපාදානය නැතිවීම දනිත්ද, උපාදානය නැතිකරන මාර්ගය දනිත්ද, ඔවුහු වනාහි උපාදානය ඉක්මවා සිටිති යන මෙය විද්‍යමාන වේ.

“තණ්හාව දනිත්ද, තණ්හාව ඇතිවීම දනිත්ද, තණ්හාව නැතිවීම දනිත්ද, තණ්හාව නැති කරන මාර්ගය දනිත්ද, ඔවුහු වනාහි තණ්හාව ඉක්මවා සිටිති යන මෙය විද්‍යමාන වේ.

“වේදනාව දනිත්ද, වේදනාව ඇතිවීම දනිත්ද, වේදනාව නැතිවීම දනිත්ද, වේදනාව නැතිකරන මාර්ගය දනිත්ද, ඔවුහු වනාහි වේදනාව ඉක්මවා සිටිති යන මෙය විද්‍යමාන වේ.

“ස්පර්ශය දනිත්ද, ස්පර්ශය ඇතිවීම දනිත්ද, ස්පර්ශය නැතිවීම දනිත්ද, ස්පර්ශය නැතිකරන මාර්ගය දනිත්ද, ඔවුහු වනාහි ස්පර්ශය ඉක්මවා සිටිති යන මෙය විද්‍යමාන වේ.

“සළායතන (ඉන්ද්‍රිය) දනිත්ද, සළායතන ඇතිවීම දනිත්ද, සළායතන නැතිවීම දනිත්ද, සළායතන නැති කරන මාර්ගය දනිත්ද, ඔවුහු වනාහි සළායතන ඉක්මවා සිටිති යන මෙය විද්‍යමාන වේ.

“නාමරූප දනිත්ද, නාමරූප ඇතිවීම දනිත්ද, නාමරූප නැතිවීම දනිත්ද, නාමරූප නැති කරන මාර්ගය දනිත්ද, ඔවුහු වනාහි නාමරූප ඉක්මවා සිටිති යන මෙය විද්‍යමාන වේ.

“විඤ්ඤාණය දනිත්ද, විඤ්ඤාණය ඇතිවීම දනිත්ද, විඤ්ඤාණය නැතිවීම දනිත්ද, විඤ්ඤාණය නැතිකරන මාර්ගය දනිත්ද ඔවුහු වනාහි විඤ්ඤාණය ඉක්මවා සිටිති යන මෙය විද්‍යමාන වේ.

“සංස්කාර දනිත්ද, සංස්කාර ඇතිවීම දනිත්ද, සංස්කාර නැතිවීම දනිත්ද, සංස්කාර නැතිකරන මාර්ගය දනිත්ද, ඔවුහු වනාහි සංස්කාර ඉක්මවා සිටිති යන මෙය විද්‍යමාන වේ.

තුන්වෙනි දසබල වර්ගයි.

දසබල සූත්‍ර දෙකය, උපනිසා සූත්‍රය, අඤ්ඤතිත්ථිය සූත්‍රය, භූමිජ සූත්‍රය, උපවාණ සූත්‍රය, පච්චය සූත්‍රය, භික්ෂු සූත්‍රය සහ ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍ර දෙකදැයි යන මේ සූත්‍ර දහයක්වූ තුන්වෙනි දසබල වර්ගයයි.