සංයුත්තනිකායො
නිදාන වර්ගය
1. නිදාන සංයුත්තය
3. දසබල වර්ගය
9. සමණ බ්‍රාහ්මණ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ වනාහි ජරාමරණය නොදනිත්ද, ජරාමරණයට හේතුව නොදනිත්ද, ජරා මරණයන්ගේ නැතිවීම නොදනිත්ද, ජරා මරණයන් නැතිකරන මාර්ගය නොදනිත්ද, ඉපදීම නොදනිත්ද, ඉපදීමට හේතුව නොදනිත්ද, ඉපදීම නැතිවීම නොදනිත්ද, ඉපදීම නැතිකරන මාර්ගය නොදනිත්ද, භවය නොදනිත්ද, භවයට හේතුව නොදනිත්ද, භවයන්ගේ නැතිවීම නොදනිත්ද, භවයන් නැතිකරන මාර්ගය නොදනිත්ද, උපාදානය නොදනිත්ද, උපාදානයට හේතුව නොදනිත්ද, උපාදානයන්ගේ නැතිවීම නොදනිත්ද, උපාදානයන් නැතිකරන මාර්ගය නොදනිත්ද, තණ්හාව නොදනිත්ද, තණ්හාවට හේතුව නොදනිත්ද, තණ්හාවන්ගේ නැතිවීම නොදනිත්ද, තණ්හාවන් නැතිකරන මාර්ගය නොදනිත්ද, වේදනාව නොදනිත්ද, වේදනාවට හේතුව නොදනිත්ද, වේදනාවන්ගේ නැතිවීම නොදනිත්ද, වේදනාවන් නැති කරන මාර්ගය නොදනිත්ද, ස්පර්ශය නොදනිත්ද ස්පර්ශයට හේතුව නොදනිත්ද, ස්පර්ශයන්ගේ නැතිවීම නොදනිත්ද, ස්පර්ශය නැතිකරන මාර්ගය නොදනිත්ද, සළායතන (ඉන්ද්‍රිය) නොදනිත්ද, සළායතනයට හේතුව නොදනිත්ද, සළායතනයන්ගේ නැතිවීම නොදනිත්ද, සළායතනයන් නැතිකරන මාර්ගය නොදනිත්ද, නාම රූප නොදනිත්ද, නාම රූපයන්ට හේතුව නොදනිත්ද, නාම රූපයන්ගේ නැතිවීම නොදනිත්ද, නාම රූපයන් නැතිකරන මාර්ගය නොදනිත්ද, විඤ්ඤාණය නොදනිත්ද, විඤ්ඤාණයට හේතුව නොදනිත්ද, විඤ්ඤාණය නැතිවීම නොදනිත්ද, විඤ්ඤාණය නැතිකරන මාර්ගය නොදනිත්ද, සංස්කාර නොදනිත්ද, සංස්කාරයන්ට හේතුව නොදනිත්ද, සංස්කාර නැතිවීම නොදනිත්ද, සංස්කාර නැතිකරන මාර්ගය නොදනිත්ද, මහණෙනි, මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතුරෙහි හෝ ශ්‍රමණ සම්මත නොවෙති. බ්‍රාහ්මණයන් කෙරෙහි හෝ බ්‍රාහ්මණ සම්මත නොවෙත්.
“මහණෙනි, ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්ථය හෝ බ්‍රාහ්මණාර්ථය හෝ මේ ආත්මයෙහි තෙමේම දැන, ප්‍රත්‍යක්ෂ කොට, ඊට පැමිණ, වාසය නොකරති.
“මහණෙනි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ ජරාමරණය දනිත්ද, ජරාමරණය ඇතිවීම දනිත්ද, ජරාමරණය නැතිවීම දනිත්ද, ජරා මරණය නැතිවෙන මාර්ගය දනිත්ද, ජාතිය (ඉපදීම) දනිත්ද, ජාතිය (ඉපදීම) ඇතිවීම දනිත්ද, ජාතිය (ඉපදීම) නැතිවීම දනිත්ද, ජාතිය (ඉපදීම) නැතිවෙන මාර්ගය දනිත්ද, භවය දනිත්ද, භවය ඇතිවීම දනිත්ද, භවය නැතිවීම දනිත්ද, භවය නැතිවෙන මාර්ගය දනිත්ද, උපාදානය දනිත්ද, උපාදානය ඇතිවීම දනිත්ද, උපාදානය නැතිවීම දනිත්ද, උපාදානය නැතිකරන මාර්ගය දනිත්ද, තණ්හාව දනිත්ද, තණ්හාව ඇතිවීම දනිත්ද, තණ්හාව නැතිවීම දනිත්ද, තණ්හාව නැතිකරන මාර්ගය දනිත්ද, වේදනාව දනිත්ද, වේදනාව ඇතිවීම දනිත්ද, වේදනාව නැතිවීම දනිත්ද, වේදනාව නැතිකරන මාර්ගය දනිත්ද, ස්පර්ශය දනිත්ද, ස්පර්ශය ඇතිවීම දනිත්ද, ස්පර්ශය නැතිවීම දනිත්ද, ස්පර්ශය නැතිකරන මාර්ගය දනිත්ද, සළායතන (ඉන්ද්‍රිය) දනිත්ද, සළායතන ඇතිවීම දනිත්ද, සළායතනයන් නැතිවීම දනිත්ද, සළායතන නැතිකරන මාර්ගය දනිත්ද, නාමරූප දනිත්ද, නාමරූප ඇතිවීම දනිත්ද, නාමරූප නැතිවීම දනිත්ද, නාමරූප නැති කරන මාර්ගය දනිත්ද, විඤ්ඤාණය දනිත්ද, විඤ්ඤාණය ඇතිවීම දනිත්ද, විඤ්ඤාණය නැතිවීම දනිත්ද, විඤ්ඤාණය නැතිකරන මාර්ගය දනිත්ද, සංස්කාර දනිත්ද, සංස්කාර ඇතිවීම දනිත්ද, සංස්කාර නැතිවීම දනිත්ද, සංස්කාර නැතිකරන මාර්ගය දනිත්ද,
“මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්ථය හෝ බ්‍රාහ්මණාර්ථය තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරති.”