සංයුත්තනිකායො
නිදාන වර්ගය
2. අභිසමය සංයුත්තය
10. පබ්බතූපමා සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී, එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යම්සේ වනාහි අබඇට හතක් පමණවූ, ගල්කැට හැර, හිමවත් පර්වතරාජයා ක්ෂයවීමට, නැසීමට යන්නේ වේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නෙහිද? ක්ෂයවූ, විනාශවූ, යම් හිමාලය පර්වතරාජයෙක් වේද, ඉතිරිවූ, අබඇට හතක් පමණවූ, යම් ගල්කැට වේද, මේ දෙකින් කවරක් වනාහි ඉතා විශාල වේද?”
“ස්වාමීනි, ක්ෂයවූ, විනාශවූ, යම් මේ හිමාලය පර්වත රාජයෙක් වෙයිද, එයම ඉතා විශාල වේ. ඉතිරිවූ, අබඇට හතක් පමණවූ, ගල්කැට ඉතා කුඩා වේ. ඉතිරිවූ අබඇට හත පමණවූ ගල්කැට, ක්ෂයවූ, විනාශවූ, හිමවත් පර්වතරාජයා හා සසඳන කල්හි සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.”
“මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්‍යක්දෘෂ්ටියෙන් යුක්තවූ නුවණින් ආර්යසත්‍යය අවබෝධ කළාවූ, ආර්යශ්‍රාවක පුද්ගලයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවර වූයේද, ඒ ක්ෂයවූ කෙළවරවූ දුකම ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය. ක්ෂයවූ, කෙළවරවූ, දුක්ගොඩ හා සමග සැසඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක සියයෙන් කොටසටද නොපැමිණෙයි. දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි.
“මහණෙනි, එසේම ධර්මාවබෝධය වනාහි මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම එසේ මහත්වූ අර්ථ ඇත්තේය.”
(දසවෙනි පබ්බතූපාම සූත්‍රය නිමි.)