සංයුත්තනිකායො

නිදාන වර්ගය

3. ධාතු සංයුත්තය

2. සත්තධාතු වර්ගය

2. සනිදාන සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මහණෙනි, කාම විතර්කය හේතු සහිතව උපදී, හේතු රහිතව නූපදී. ව්‍යාපාද විතර්කය හේතු සහිතව උපදී. හේතු රහිතව නූපදී. විහිංසා විතර්කය හේතු සහිතව උපදී. හේතු රහිතව නූපදී.

“මහණෙනි, කෙසේ නම් කාම විතර්කය හේතු සහිතව උපදීද? හේතු රහිතව නූපදීද? ව්‍යාපාද විතර්කය හේතු සහිතව උපදීද? හේතු රහිතව නූපදීද? විහිංසා විතර්කය හේතු සහිතව උපදීද? හේතු රහිතව නූපදීද”?

“මහණෙනි, කාම ධාතූන් නිසා කාම සංඥාව උපදී. කාම සංඥාව නිසා කාම සංකල්පනාව උපදී. කාම සංකල්පනාව නිසා කාමච්ඡන්දය උපදී, කාමච්ඡන්දය නිසා කාම පරිදාහය (කාම දැවිල්ල) උපදී, කාමපරිදාහය නිසා කාම පරියේසනය (කම්සැප සෙවීම) උපදී. මහණෙනි, කාම පරියේසනය (කම්සැප සෙවීම) කරන්නාවූ, අශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් නැති) පෘථග්ජන තෙම, කයින්, වචනයෙන් සහ මනසින් යන තුන් තැනින්, වරදවා පිළිපදියි.

“මහණෙනි, ව්‍යාපාද ධාතුව නිසා ව්‍යාපාද සංඥාව උපදී, ව්‍යාපාද සංඥාව නිසා ව්‍යාපාද සංකල්පනාව උපදියි. ව්‍යාපාද සංකල්පනාව නිසා ව්‍යාපාදච්ඡන්දය උපදියි. ව්‍යාපාදච්ඡන්දය නිසා ව්‍යාපාද පරිදාහය උපදියි. ව්‍යාපාද පරිදාහය නිසා ව්‍යාපාද පරියේසනය උපදී. මහණෙනි, ව්‍යාපාද පරියේසනය කරන්නාවූ, අශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් නැති) පෘථග්ජන තෙම කයින්, වචනයෙන් සහ මනසින් යන තුන් තැනින් වරදවා පිළිපදියි.

“මහණෙනි, විහිංසා ධාතුව නිසා විහිංසා සංඥාව උපදී. විහිංසා සංඥාව නිසා විහිංසා සංකල්පනාව උපදියි. විහිංසා සංකල්පනාව නිසා විංහිසාච්ඡන්දය උපදියි. විහිංසාච්ඡන්දය නිසා විහිංසා පරිදාහය උපදියි. විහිංසා පරිදාහය නිසා විහිංසා පරියේසනය උපදියි. මහණෙනි, විහිංසා පරියේසනය කරන්නාවූ, අශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් නැති) පෘථග්ජන තෙම කයින් වචනයෙන් සහ මනසින් යන තුන් තැනින් වරදවා පිළිපදියි.

“මහණෙනි, යම්සේ වනාහි පුරුෂයෙක් ඇවුළුනු තණහුලක් වියලුනු තණ ගොඩක දමන්නේද, ඉදින් අතින් හෝ පයින් හෝ වහාම නොනිවන්නේ නම් මහණෙනි, එකල්හි වනාහි තෘණ කෘෂ්ටයන් (තණකොළ සහ ලීදඬු) ඇසුරු කළාවූ යම් ප්‍රාණීහු වෙත්ද, ඔවුහු විනාශයට පැමිණෙන්නාහුය.

“මහණෙනි, එසේම වනාහි යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ උපන්නාවූ, රාගාදියෙන් විෂමවූ අකුසල සංඥාව වහාම අත් නොහරියිද, දුරු නොකෙරෙයිද, නැති නො කෙරෙයිද, අභාවයට පත් නොකෙරෙයිද? හෙතෙම මේ ආත්මයෙහිම දුක් සහිතව විනාශ සහිතව, වෙහෙස සහිතව, දැවීම් සහිතව වාසය කෙරෙයි. කය බිඳීමෙන් මරණින් මතු දුර්ගතිය කැමැති විය යුතුයි.

“මහණෙනි, නෛෂ්ක්‍රම්‍ය විතර්කය හේතු සහිතව උපදියි. හේතු රහිතව නූපදියි. අව්‍යාපාද විතර්කය හේතු සහිතව උපදියි. හේතු රහිතව නූපදියි. අවිහිංසා විතර්කය හේතු සහිතව උපදියි. හේතු රහිතව නූපදියි.

“මහණෙනි, කෙසේ නම් හේතු සහිතව නෙක්ඛම්ම විතර්කය උපදීද? හේතු රහිතව නූපදීද? අව්‍යාපාද විතර්කය හේතු සහිතව උපදීද? හේතු රහිතව නූපදීද? අවිහිංසා විතර්කය හේතු සහිතව උපදීද? හේතු රහිතව නූපදීද?

“මහණෙනි, නෙක්ඛම්ම ධාතුව නිසා නෙක්ඛම්ම සංඥාව උපදියි. නෙක්ඛම්ම සංඥාව නිසා නෙක්ඛම්ම සංකල්පනාව උපදියි. නෙක්ඛම්ම සංකල්පනාව නිසා නෙක්ඛම්ම ඡන්දය (කාමයෙන් වෙන්වීමේ කැමැත්ත) උපදී. නෙක්ඛම්ම ඡන්දය නිසා නෙක්ඛම්මපරිදාහය උපදී. නෙක්ඛම්ම පරිදාහය නිසා නෙක්ඛම්ම පරියේසනය උපදී. මහණෙනි, නෙක්ඛම්ම පරියේසනය කරනු ලබන්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්ය ශ්‍රාවකතෙම කයින් වචනයෙන් සහ සිතින් යන තුන් තැනින් මනාකොට පිළිපදියි.

“මහණෙනි, අව්‍යාපාද ධාතුව නිසා අව්‍යාපාද සංඥාව උපදී. අව්‍යාපාද සංඥාව නිසා අව්‍යාපාද සංකල්පනාව උපදියි. අව්‍යාපාද සංකල්පනාව නිසා අව්‍යාපාදච්ඡන්දය උපදියි. අව්‍යාපාදච්ඡන්දය නිසා අව්‍යාපාද පරිදාහය උපදියි. අව්‍යාපාද පරිදාහය නිසා අව්‍යාපාද පරියේසනය උපදී. මහණෙනි, අව්‍යාපාද පරියේසනය කරන්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්ය ශ්‍රාවකතෙම කයින්, වචනයෙන් සහ සිතින් යන තුන් තැනින් මනාකොට පිළිපදියි.

මහණෙනි, අවිහිංසා ධාතුව නිසා අවිහිංසා සංඥාව උපදී. අවිහිංසා සංඥාව නිසා අවිහිංසා සංකල්පනාව උපදියි. අවිහිංසා සංකල්පනාව නිසා අවිහිංසාච්ඡන්දය උපදියි. අවිහිංසාච්ඡන්දය නිසා අවිහිංසා පරිදාහය උපදියි. අවිහිංසා පරිදාහය නිසා අවිහිංසා පරියේසනය උපදී. මහණෙනි, අවිහිංසා පරියේසනය කරන්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්ය ශ්‍රාවකතෙම කයින්, වචනයෙන් සහ සිතින් යන තුන් තැනින් මනාකොට පිළිපදියි.

මහණෙනි, යම්සේ පුරුෂයෙක් වනාහි ඇවිලගත් තණහුලක් වියලුනු තණ ගොඩක දමන්නේද, ඒ මේ තණහුල අතින්ද, පයින්ද නිවන්නේ නම්, මහණෙනි, එකල්හි වනාහි තණකොළ ලී දඬු ඇසුරු කළාවූ යම් ප්‍රාණීහුවෙත්ද, ඔවුහු විනාශයට පත් නොවෙන්නාහුය.

මහණෙනි, එසේම වනාහි යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ උපන්නාවූ, රාගාදියෙන් විෂමවූ, අකුශල සංඥාව වහාම අත්හරියිද, දුරුකෙරෙයිද, නැති කෙරෙයිද, අභාවයට පමුණුවයිද, හෙතෙම මේ ආත්ම භාවයෙහිදීම සැපසේ වාසය කෙරෙයි. විනාශ නැතිව, වෙහෙස නැතිව, දැවීම් නැතිව වාසය කෙරෙයි. කය බිඳීමෙන් මරණින් පසු සුගතිය කැමැතිවිය යුතුයි.

(දෙවෙනි සනිදාන සූත්‍රය නිමි.)