සංයුත්තනිකායො
නිදාන වර්ගය
3. ධාතු සංයුත්තය
2. සත්තධාතු වර්ගය
3. ගිඤ්ජකාවසඵ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නෑයන් වාසය කරන කපිලවස්තු නගරයෙහි ගිඤ්ජකාවසථ නම් ස්ථානයෙහි වාසය කරන සේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” කියා භික්ෂූන් ඇමතූසේක. “ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
“මහණෙනි, අධ්‍යාශය ධාතුව (අදහස) නිසා සංඥාව උපදියි. දෘෂ්ටිය උපදියි. විතර්කය උපදියි”. මෙසේ දේශනා කළ කල්හි ආයුෂ්මත් සන්ධ කච්චායන තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, සම්මා සම්බුදු නොවූවන් කෙරෙහි සම්මා සම්බුදුන්ය යන යම් මේ දෘෂ්ටියක් වේද, ස්වාමීනි, මේ දෘෂ්ටිය වනාහි කුමක් නිසා ප්‍රකට වෙයිද?” “කච්චායනය, මේ අවිද්‍යා ධාතුව (මෝඩ අදහස) වනාහි මහත් වන්නීය. කච්චායනය, හීන අදහස නිසා හීනවූ, සංඥාව උපදියි. හීනවූ දෘෂ්ටිය, හීනවූ විතර්කය, හීනවූ චේතනාව, හීනවූ ප්‍රාර්ථනාව, හීනවූ කැමැත්ත, හීනවූ පුද්ගලයා, හීනවූ වචනය උපදියි. හීනවූ දෙයක් කියයි. දෙසයි. පණවයි. පිහිටුවයි. විවරණ කරයි. බෙදයි. නොගැඹුරු කෙරෙයි ඔහුගේ උත්පත්තිය හීනයයි, (පහත්යයි) කියමි.
“කච්චායනය, මද්ධ්‍යම අදහස නිසා මද්ධ්‍යමවූ සංඥාව උපදියි. මද්ධ්‍යමවූ දෘෂ්ටිය, මද්ධ්‍යමවූ විතර්කය, මද්ධ්‍යමවූ චේතනාව, මද්ධ්‍යමවූ ප්‍රාර්ථනාව, මද්ධ්‍යමවූ කැමැත්ත, මද්ධ්‍යමවූ පුද්ගලයා, මද්ධ්‍යමවූ වචනය උපදියි. මද්ධ්‍යමවූ දෙයක් කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි බෙදයි. නොගැඹුරු කෙරෙයි. ඔහුගේ උත්පත්තිය මද්ධ්‍යමයයි කියමි.
“කච්චායනය, ප්‍රණීතවූ අදහස නිසා ප්‍රණීත (උසස්) සංඥාව උපදියි. ප්‍රණීත (උසස්) දෘෂ්ටිය, ප්‍රණීත (උසස්) විතර්කය, ප්‍රණීත (උසස්) චේතනාව, ප්‍රණීත (උසස්) ප්‍රාර්ථනාව, ප්‍රණීත (උසස්) කැමැත්ත, ප්‍රණීතවූ (උසස්) පුද්ගලයා, ප්‍රණීතවූ (උසස්) වචනය උපදියි. ප්‍රණීතවූ (උසස්) දෙයක් කියයි. දේශනා කෙරෙයි. පණවයි පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. නොගැඹුරු කෙරෙයි. ඔහුගේ උත්පත්තිය ප්‍රණීතයයි කියමි.”
(තුන්වෙනි ගිඤ්ජකාවසථ සූත්‍රය නිමි.)