සංයුත්තනිකායො
නිදාන වර්ගය
3. ධාතු සංයුත්තය
4. චතු ධාතු වර්ගය
8. සමණ බ්‍රාහ්මණ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, මේ ධාතු සතරදෙනෙකි. (ඒ) සතර කවරේද? පඨවිධාතුව, ආපෝධාතුව, තේජෝධාතුව සහ වායෝධාතුවයි. මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ සතරධාතූන්ගේ අස්සාදයද, ආදීනවද, නිස්සරණයද, ඇතිසේ නොදනිත්ද, මහණෙනි, මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද නොවෙති. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්ථය හෝ බ්‍රාහ්මණාර්ථය හෝ මේ ආත්මයෙහිදීම තෙමේ දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකෙරෙත්.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ සතර ධාතූන්ගේ අස්සාදයද, ආදීනවද, නිස්සරණයද ඇතිසේ දනිත්ද, මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්ථය හෝ බ්‍රාහ්මණාර්ථය හෝ මේ ආත්මයෙහිදීම තෙමේ දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය කෙරෙත්.”
(අටවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය නිමි.)