සංයුත්තනිකායො
නිදාන වර්ගය
3. ධාතු සංයුත්තය
1. නානත්ත වර්ගය
7. සඤ්ඤා සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තරදුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ධාතුන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇතිවෙයි. සංඥාවන්ගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇතිවේ. සංකල්පනාවන්ගේ නානත්වය නිසා ඡන්දයන්ගේ (තෘෂ්ණාවන්ගේ) නානත්වය ඇතිවේ. ඡන්දයන්ගේ නානත්වය නිසා පරිදාහයන්ගේ (ආශාවෙන් දැවෙන ස්වභාවයන්ගේ) නානත්වය ඇතිවේ. පරිදාහයන්ගේ නානත්වය නිසා පරියේසනයන්ගේ (සෙවීම්වල) නානත්වය ඇතිවේ.
“මහණෙනි, ධාතූන්ගේ නානත්වය කවරේද?”
රූප ධාතුව, ශබ්ද ධාතුව, ගන්ධ ධාතුව, රස ධාතුව, ස්පර්ශ ධාතුව සහ ධම්ම ධාතුවයි. මහණෙනි, මෙය ධාතූන්ගේ නානත්වයයි කියනු ලැබේ.
“මහණෙනි, කෙසේ නම් ධාතූන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇතිවෙයිද? සංඥාවන්ගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇතිවෙයිද? සංකල්පනා වන්ගේ නානත්වය නිසා ඡන්දයන්ගේ (ආශාවන්ගේ) නානත්වය ඇතිවෙයිද? ඡන්දයන්ගේ නානත්වය නිසා පරිදාහයන්ගේ නානත්වය ඇතිවේද? පරිදාහයන්ගේ නානත්වය නිසා පරියේසනයන්ගේ නානත්වය ඇතිවේද?
“මහණෙනි, රූප ධාතුව නිසා රූප සංඥාව (චක්ඛු විඤ්ඤාණය සමග පවත්නා සංඥාව) උපදින්නීය. රූපසංඥාව නිසා රූප සංකල්පනාව (සම්පටිච්ඡනාදි සිත් තුන සමග පවත්නා සංඥාව) උපදියි. රූප සංකල්පනාව නිසා රූපච්ඡන්දය රූපයෙහි ආශාව උපදියි. රූපච්ඡන්දය නිසා රූප පරිදාහය (රූප ආශාවෙන් දැවීම) උපදියි. රූප පරිදාහය නිසා රූප පරියේසනය (රූපයන් සෙවීම) ඇතිවේ.
“ශබ්ද ධාතුව නිසා ශබ්ද සංඥාව ඇති වන්නීය. ශබ්ද සංඥාව නිසා ශබ්ද සංකල්පනාව ඇතිවෙයි. ශබ්ද සංකල්පනාව නිසා ශබ්දච්ඡන්දය ඇතිවෙයි. ශබ්දච්ඡන්දය නිසා ශබ්දපරිදාහය ඇතිවෙයි. ශබ්දපරිදාහය නිසා ශබ්ද පරියේසනය ඇතිවේ.
“ගන්ධ ධාතුව නිසා ගන්ධ සංඥාව ඇතිවන්නීය. ගන්ධ සංඥාව නිසා ගන්ධ සංකල්පනාව ඇතිවෙයි. ගන්ධ සංකල්පනාව නිසා ගන්ධච්ඡන්දය ඇතිවෙයි. ගන්ධච්ඡන්දය නිසා ගන්ධ පරිදාහය ඇතිවෙයි. ගන්ධ පරිදාහය නිසා ගන්ධ පරියේසනය ඇතිවෙයි.
“රස ධාතුව නිසා රස සංඥාව ඇතිවන්නීය. රස සංඥාව නිසා රස සංකල්පනාව ඇතිවෙයි. රස සංකල්පනාව නිසා රසච්ඡන්දය ඇතිවෙයි. රසච්ඡන්දය නිසා රස පරිදාහය ඇතිවෙයි. රස පරිදාහය නිසා රස පරියේසනය ඇතිවේ.
“ස්පර්ශය ධාතුව නිසා ස්පර්ශ සංඥාව ඇතිවන්නීය. ස්පර්ශය සංඥාව නිසා ස්පර්ශ සංකල්පනාව ඇතිවෙයි. ස්පර්ශ සංකල්පනාව නිසා ස්පර්ශච්ඡන්දය ඇතිවෙයි. ස්පර්ශච්ඡන්දය නිසා ස්පර්ශ පරිදාහය ඇතිවෙයි. ස්පර්ශ පරිදාහය නිසා ස්පර්ශපරියේසනය ඇතිවේ.
“ධර්මධාතුව නිසා ධර්මසංඥාව ඇතිවන්නීය. ධර්මසංඥාව නිසා ධර්ම සංකල්පනාව ඇතිවෙයි. ධර්ම සංකල්පනාව නිසා ධර්මච්ඡන්දය ඇතිවෙයි. ධර්මච්ඡන්දය නිසා ධර්ම පරිදාහය ඇති වෙයි. ධර්ම පරිදාහය නිසා ධර්ම පරියේසනය ඇතිවේ.
“මහණෙනි, මෙසේ වනාහි ධාතූන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇතිවේ. සංඥාවන්ගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇතිවේ. සංකල්පනාවන්ගේ නානත්වය නිසා ඡන්දයන්ගේ නානත්වය ඇතිවේ. ඡන්දයන්ගේ නානත්වය නිසා පරිදාහයන්ගේ නානත්වය ඇතිවේ. පරිදාහයන්ගේ නානත්වය නිසා පරියේසනයන්ගේ නානත්වය ඇතිවේ.
(හත්වෙනි සඤ්ඤා සූත්‍රය නිමි.)