සංයුත්තනිකායො
නිදාන වර්ගය
3. ධාතු සංයුත්තය
1. නානත්ත වර්ගය
8. නෝසඤ්ඤා සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ධාතූන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇතිවේ. සංඥාවන්ගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇතිවේ. සංකල්පනාවන්ගේ නානත්වය නිසා ඡන්දයාගේ නානත්වය ඇතිවේ. ඡන්දයාගේ නානත්වය නිසා පරිදාහයන්ගේ නානත්වය ඇතිවේ. පරිදාහයාගේ නානත්වය නිසා පරියේසනයාගේ නානත්වය ඇතිවේ. පරියේසනයාගේ නානත්වය නිසා පරිදාහයාගේ නානත්වය ඇති නොවේ. පරිදාහයාගේ නානත්වය නිසා ඡන්දයාගේ නානත්වය ඇති නොවේ. ඡන්දයාගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇති නොවේ. සංකල්පනාවන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇති නොවේ. සංඥාවන්ගේ නානත්වය නිසා ධාතූන්ගේ නානත්වය ඇති නොවේ.
“මහණෙනි, ධාතූන්ගේ නානත්වය නම් කවරේද? රූපධාතුව, ශබ්දධාතුව, ගන්ධධාතුව, රසධාතුව, ස්පර්ශධාතුව සහ ධම්මධාතුවයි. මහණෙනි, මෙය ධාතූන්ගේ නානත්වයයි කියනු ලැබේ.
“මහණෙනි, කෙසේ නම් ධාතූන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇතිවේද? සංඥාවන්ගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇතිවේද? සංකල්පනාවන්ගේ නානත්වය නිසා ඡන්දයාගේ නානත්වය ඇතිවේද? ඡන්දයාගේ නානත්වය නිසා පරිදාහයාගේ නානත්වය ඇති වේද? පරිදාහයාගේ නානත්වය නිසා පරියේසනයාගේ නානත්වය ඇතිවේද? පරියේසනයාගේ නානත්වය නිසා පරිදාහයාගේ නානත්වය ඇති නොවේද? පරිදාහයාගේ නානත්වය නිසා ඡන්දයාගේ නානත්ව ඇති නොවේද? ඡන්දයාගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇති නොවේද? සංකල්පනාවන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇති නොවේද? සංඥාවන්ගේ නානත්වය නිසා ධාතූන්ගේ නානත්වය ඇති නොවේද?
“මහණෙනි, රූපධාතුව නිසා රූපසංඥාව ඇතිවන්නීය, රූපසංඥාව නිසා රූපසංකල්පනාව ඇතිවෙයි. රූපසංකල්පනාව නිසා රූපච්ඡන්දය ඇතිවෙයි. රූපච්ඡන්දය නිසා රූපපරිදාහය ඇතිවෙයි. රූපපරිදාහය නිසා රූපපරියේසනය ඇතිවෙයි. රූපපරියේසනය නිසා රූපපරිදාහය ඇති නොවෙයි. රූප පරිදාහය නිසා රූපච්ඡන්දය ඇති නොවෙයි. රූපච්ඡන්දය නිසා රූපසංකල්පනාව ඇති නොවෙයි. රූපසංකල්පනාව නිසා රූපසංඥාව ඇති නොවෙයි. රූපසංඥාව නිසා රූප ධාතුව ඇති නොවෙයි.
“ශබ්දධාතුව නිසා ශබ්දසංඥාව ඇතිවන්නීය. ශබ්දසංඥාව නිසා ශබ්ද සංකල්පනාව ඇතිවෙයි. ශබ්ද සංකල්පනාව නිසා ශබ්දච්ඡන්දය ඇතිවෙයි. ශබ්දච්ඡන්දය නිසා ශබ්දපරිදාහය ඇතිවෙයි. ශබ්දපරිදාහය නිසා ශබ්ද පරියේසනය ඇතිවේ. ශබ්ද පරියේසනය නිසා ශබ්ද පරිදාහය ඇති නොවෙයි. ශබ්දපරිදාහය නිසා ශබ්දච්ඡන්දය ඇති නොවෙයි. ශබ්දච්ඡන්දය නිසා ශබ්ද සංකල්පනාව ඇති නොවෙයි. ශබ්ද සංකල්පනාව නිසා ශබ්ද සංඥාව ඇති නොවෙයි. ශබ්ද සංඥාව නිසා ශබ්ද ධාතුව ඇති නොවෙයි.
“ගන්ධධාතුව නිසා ගන්ධසංඥාව ඇතිවන්නීය. ගන්ධ සංඥාව නිසා ගන්ධ සංකල්පනාව ඇතිවෙයි. ගන්ධ සංකල්පනාව නිසා ගන්ධච්ඡන්දය ඇතිවෙයි. ගන්ධච්ඡන්දය නිසා ගන්ධ පරිදාහය ඇතිවෙයි. ගන්ධපරිදාහය නිසා ගන්ධ පරියේසනය ඇතිවේ. ගන්ධ පරියේසනය නිසා ගන්ධපරිදාහය ඇති නොවෙයි. ගන්ධපරිදාහය නිසා ගන්ධච්ඡන්දය ඇති නොවෙයි. ගන්ධච්ඡන්දය නිසා ගන්ධ සංකල්පනාව ඇති නොවෙයි. ගන්ධ සංකල්පනාව නිසා ගන්ධසංඥාව ඇති නොවෙයි. ගන්ධසංඥාව නිසා ගන්ධධාතුව ඇති නොවෙයි.
“රසධාතුව නිසා රසසංඥාව ඇතිවන්නීය. රසසංඥාව නිසා රස සංකල්පනාව ඇතිවෙයි. රස සංකල්පනාව නිසා රසච්ඡන්දය ඇතිවෙයි. රසච්ඡන්දය නිසා රසපරිදාහය ඇති වෙයි. රස පරිදාහය නිසා රස පරියේසනය ඇතිවේ. රස පරියේසනය නිසා රස පරිදාහය ඇති නොවෙයි. රසපරිදාහය නිසා රසච්ඡන්දය ඇති නොවෙයි. රසච්ඡන්දය නිසා රස සංකල්පනාව ඇති නොවෙයි. රස සංකල්පනාව නිසා රස සංඥාව ඇති නොවෙයි. රස සංඥාව නිසා රසධාතුව ඇති නොවෙයි.
“ඵොට්ඨබ්බ ධාතුව නිසා ස්පර්ශ සංඥාව ඇති වන්නීය. ස්පර්ශ සංඥාව නිසා ස්පර්ශ සංකල්පනාව ඇතිවෙයි. ස්පර්ශ සංකල්පනාව නිසා ස්පර්ශච්ඡන්දය ඇතිවෙයි. ස්පර්ශච්ඡන්දය නිසා ස්පර්ශ පරිදාහය ඇතිවෙයි. ස්පර්ශ පරිදාහය නිසා ස්පර්ශ පරියේසනය ඇතිවේ. ස්පර්ශ පරියේසනය නිසා ස්පර්ශ පරිදාහය ඇති නොවෙයි. ස්පර්ශ පරිදාහය නිසා ස්පර්ශච්ඡන්දය ඇති නොවෙයි. ස්පර්ශච්ඡන්දය නිසා ස්පර්ශ සංකල්පනාව ඇති නොවෙයි. ස්පර්ශ සංකල්පනාව නිසා ස්පර්ශ සංඥාව ඇති නොවෙයි. ස්පර්ශ සංඥාව නිසා ස්පර්ශ ධාතුව ඇති නොවෙයි.
“ධම්මධාතුව නිසා ධර්ම සංඥාව ඇතිවන්නීය. ධර්ම සංඥාව නිසා ධර්ම සංකල්පනාව ඇතිවෙයි. ධර්ම සංකල්පනාව නිසා ධර්මච්ඡන්දය ඇතිවෙයි. ධර්මච්ඡන්දය නිසා ධර්ම පරිදාහය ඇති වෙයි. ධර්ම පරිදාහය නිසා ධර්ම පරියේසනය ඇතිවේ. ධර්ම පරියේසනය නිසා ධර්ම පරිදාහය ඇති නොවෙයි. ධර්ම පරිදාහය නිසා ධර්මච්ඡන්දය ඇති නොවෙයි. ධර්මච්ඡන්දය නිසා ධර්මසංකල්පනාව ඇති නොවෙයි. ධර්ම සංකල්පනාව නිසා ධර්මසංඥාව ඇති නොවෙයි. ධර්ම සංඥාව නිසා ධර්ම ධාතුව ඇති නොවෙයි.
“මහණෙනි, මෙසේ වනාහි ධාතූන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇතිවෙයි. සංඥාවන්ගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇතිවෙයි. සංකල්පනාවන්ගේ නානත්වය නිසා ඡන්දයාගේ නානත්වය ඇතිවෙයි. ඡන්දයාගේ නානත්වය නිසා පරිදාහයාගේ නානත්වය ඇතිවෙයි. පරිදාහයාගේ නානත්වය නිසා පරියේසනයාගේ නානත්වය ඇතිවෙයි. පරියේසනයාගේ නානත්වය නිසා පරිදාහයාගේ නානත්වය ඇති නොවෙයි. පරිදාහයාගේ නානත්වය නිසා ඡන්දයාගේ නානත්වය ඇති නොවෙයි. ඡන්දයාගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇති නොවෙයි. සංකල්පනාවන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇති නොවේ. සංඥාවන්ගේ නානත්වය නිසා ධාතූන්ගේ නානත්වය ඇති නොවේ.”
(අටවෙනි නෝසඤ්ඤා සූත්‍රය නිමි.)