සංයුත්තනිකායො

නිදාන වර්ගය

6. ලාභසක්කාර සංයුත්තය

2. දෙවැනි වර්ගය

2. පාති සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තරදුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය.

“මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකු මෙසේ (මාගේ) සිතින් (ඔහුගේ) සිත පිරිසිඳ දැනගතිමි (කෙසේද?) මේ ආයුෂ්මත්තෙම රත්රන් සුණු පිරවූ, රිදී පාත්‍රයක් නිසා හෝ දැන දැන බොරු නොකියන්නේය කියායි. පසුකලකදී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මඩනා ලදුව විනාශවූ කුසල් සිත් ඇතිව, දැන දැන බොරු කියන්නාවූ ඔහු දක්නෙමි.

“මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය.

“මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මියයුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරුකරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි,’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”

(දෙවෙනි පාති සූත්‍රය නිමි.)