සංයුත්තනිකායො

නිදාන වර්ගය

8. ලක්ඛණ සංයුත්තය

1. පළමුවෙනි වර්ගය

9. සඛ්ඛියති සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම, පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍රසිවුරුගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම්තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් හට මෙය කීයේය. “ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬුපිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය.

ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී, සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට මෙය කීයේය. “ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්වහන්ස, (ඔබවහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? ‘ඇවැත්, ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්‍රශ්නය මාගෙන් අසවයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙමේද රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක වැඩ හුන්නාහුය, එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”

“ඇවැත, ගිජ්ඣකූටපර්වතයෙන් බසින්නාවූ මම අහසින් ගමන්කරන්නාවූ, සුචිලෝම (ඉදිකටු වැනි ලොම් ඇති) ප්‍රේතයෙකු දැක්කෙමි. ඔහුගේ ඒ ඉදිකටු හිසින් ඇතුල්ව මුඛයෙන් නික්මෙයි. මුඛයෙන් ඇතුල්ව පපුවෙන් නික්මෙයි. පපුවෙන් ඇතුල්ව බඩින් නික්මෙයි. බඩින් ඇතුල්ව කළවෙන් නික්මෙයි. කළවෙන් ඇතුල්ව කෙණ්ඩයෙන් නික්මෙයි. කෙණ්ඩයෙන් ඇතුල්ව පතුලෙන් නික්මෙයි. ඒ සුචිලෝම ප්‍රේතයා බැගෑපත්ව හඬ නගයි. ඇවැත්නි ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි, මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද මෙබඳුවූ ආත්මභාවයක් ලැබීමකුදු වන්නේය.’ කියායි.” ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්හට කථාකළ සේක.

“මහණෙනි, යම් හෙයකින් වනාහි ශ්‍රාවකයෙක්තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නා ලද්දේ විය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නො අදහන්නාහුය. යම් අය මා නො අදහන්නාහු නම් එය ඔවුන් හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය.

“මහණෙනි, මේ සත්වතෙම මේ රජගහනුවරම සූචකයෙක් (කේලාම් කියන්නෙක්) විය. හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්ම භාවයක් ලැබීම විඳිනු ලැබේයයි” වදාළසේක.

(නවවෙනි සිඛ්ඛියති සූත්‍රය නිමි.)