සංයුත්තනිකායො
නිදාන වර්ගය
8. ලක්ඛණ සංයුත්තය
1. පළමුවෙනි වර්ගය
10. අණ්ඩභාරී සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරුගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන්හට මෙය කීයේය.
“ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬුපිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්හට මෙය කීයේය. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබ වහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?
“ඇවැත් ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්‍රශ්නය මාගෙන් අසවයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙමේද රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුනාහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක වැඩ හුන්නාහුය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
‘ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ, මම අහසින් ගමන් කරන්නාවූ, කුම්භණ්ඩ (කලයක් පමණ අණ්ඩය ඇති) ප්‍රේතයෙකු දැක්කෙමි. හෙතෙම යන කල්හිත් ඒ අණ්ඩය කරෙහි තබාගෙනම යෙයි. හිඳින්නේත් ඒ අණ්ඩයෙහිම හිඳියි. යක්ෂ ගිජුලිහිණියෝද, යක්ෂ කවුඩෝද, යක්ෂ උකුස්සෝද එළව, එළවා ඒ මොහුගේ (කලයක් පමණ අණ්ඩය) උදුරා දමති. විනාශ කෙරෙති. ඒ කුම්භණ්ඩ ප්‍රේතයා බැගෑපත් හඬ නඟයි.”
“ඇවැත, ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්මභාවයක් ලැබීමකුදු වන්නේය’ කියායි.” ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ භික්ෂුන්හට කථාකළ සේක. “මහණෙනි, යම් හෙයකින් වනාහි ශ්‍රාවකයෙක්තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති.”
“මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නා ලද්දේ විය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙමි නම් අන්‍යයෝ මා නො අදහන්නාහුය. යම් අය මා නො අදහන්නාහු නම් එය ඔවුන්හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය.
“මහණෙනි, මේ සත්වතෙම මේ රජගහනුවරම ගාමකූටයෙක් (කූට විනිශ්චයකාරයෙක්) විය. හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක් බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳිනු ලැබේයයි” වදාළසේක.
(දසවෙනි අණ්ඩභාරී සූත්‍රය නිමි.)
පළමුවෙනි වර්ගය නිමි.
අට්ඨි, පේසි යන ප්‍රේතයන් දෙදෙන ගෝඝාතකයෝ වූහ. මංස පිණ්ඩ (මස් පිඬු) ප්‍රේතයා සාකුණිකයෙක් (පක්ෂීන් මරා ජීවත් වන්නෙක්) විය. නිච්ඡවි (සම නැති) ප්‍රේතයා එළුවන් මරා ජීවත් වන්නෙක් විය. අසිලෝම ප්‍රේතයා සූකරිකයෙක් (හූරන් මරා ජීවත් වන්නෙක්) විය. සත්ති ලෝම ප්‍රේතයා (මුවන් මරා ජීවත් වන්නෙක්) විය. උසුලෝම ප්‍රේතයා (රාජාපරාධකාරයන් විද මරන්නෙක්) විය. සූචිලෝම ප්‍රේතයා (අසුන් හික්ම වන්නෙක්) විය. සූචිලෝම නම් යම් ප්‍රේතයෙකු වසනු ලැබේද හේ කේලාම් කියන්නෙක් විය. අණ්ඩභාරී ප්‍රේතයා කූට (හොර) විනිශ්චයකාරයෙක් විය. සිඛ්ඛියති යයි කියා මේ වර්ගයෙහි සූත්‍ර දශයෙකි