සංයුත්තනිකායො
නිදාන වර්ගය
10. භික්ඛු සංයුත්තය
1. කෝලිත සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී වනාහි ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර තෙමේ ‘ඇවැත් මහණෙනි’යි කියා භික්ෂූන්ට කථා කළේය. ‘ඇවැත්නියි’ කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්ට උත්තර දුන්හ. ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙමේ මෙය කීයේය.
“ඇවැත්නි, මෙහි රහසිගතව විවේකව සිටි මට මෙවැනි කල්පනාවක් පහළවිය. (එනම්:-) ‘ආර්‍ය්‍යයන්ගේ තූෂ්ණීම්භාවය, ආර්‍ය්‍යයන්ගේ තූෂ්ණීම්භාවයයි කියනු ලැබේ. ආර්‍ය්‍යයන්ගේ තූෂ්ණීම්භාවය වනාහි කවරක්ද?’ කියායි. ඇවැත්නි, ඒ මට මෙසේ අදහස්විය. ‘මේ ශාසනයෙහි මහණතෙම විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇතිකරන්නාවූ, සිතේ එකඟ බව ඇතිකරන්නාවූ, විතර්ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනිවූ ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, මෙය ආර්‍ය්‍යයන්ගේ තූෂ්ණීම්භාවයයි’ කියනු ලැබේ.”
“ඇවැත්නි, ඒ මම වනාහි විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇති කරන්නාවූ, සිතේ එකඟ බව ඇති කරන්නාවූ, විතර්ක රහිතවූ, විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනිවූ ධ්‍යානයට පැමිණ, වාසය කෙරෙමි. ඇවැත්නි, මේ ද්විතීයද්ධ්‍යාන විහරණයෙන් යුක්තව වාසය කරන්නාවූ, ඒ මට විතර්කය අරමුණු කොට ඇති සංඥාවද මනසිකාරයද උපදියි. ඇවැත්නි, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් වැඩ, මට මෙය වදාළසේක. ‘මොග්ගල්ලානය, මොග්ගල්ලානය, ශ්‍රෙෂ්ඨවූ ආර්‍ය්‍යයන්ගේ තූෂ්ණීම්භාවයෙහි ප්‍රමාද නොවෙව. ආර්‍ය්‍යයන්ගේ තූෂ්ණීම්භාවයෙහි සිත මනාකොට තබව. ආර්‍ය්‍යයන්ගේ තූෂ්ණීම්භාවයෙහි සිත එකඟ කරව. ආර්‍ය්‍යයන්ගේ තූෂ්ණීම්භාවයෙහි සිත තැන්පත් කරව.’ (යනුයි.)”
“ඇවැත්නි, ඒ මම ඉන්පසු විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇති කරන්නාවූ, සිතේ එකඟ බව ඇති කරන්නාවූ, විතර්ක රහිතවූ, විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනිවූ ධ්‍යානයට පැමිණ, වාසය කෙළෙමි. ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද්දාවූ, ශ්‍රාවකයෙක්තෙම ෂට් අභිඥාවන්ට පැමිණියේය. කියන්නෙක් යමෙකු උදෙසා කියන්නේ නම් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද්දාවූ, ශ්‍රාවකයෙක්තෙම ෂට් අභිඥාවන්ට පැමිණියේය’ යන එය මනාකොට කියන්නාහු විසින් මා උදෙසාම කියයුතු වන්නේය.”
(පළමුවෙනි කෝලිත සූත්‍රය නිමි.)