සංයුත්තනිකායො

නිදාන වර්ගය

10. භික්ඛු සංයුත්තය

2. සාරිපුත්ත සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එහිදී වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරතෙමේ “ඇවැත් මහණෙනි”යි කියා භික්ෂූන්ට කථාකළසේක. ‘ඇවැත්නි’ කියා ඒ භික්ෂූහු වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්හට උත්තර දුන්හ. “ඇවැත, මෙහි රහසිගතව, විවේකව සිටි මට මෙවැනි අදහසක් පහළවිය.’ ‘යමක්හුගේ නැතිවීම වෙනස්වීම හේතු කොට ගෙන, මා හට සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදින්නාහුද, එවැනිවූ කිසිවක් ලෝකයෙහි ඇත්තේදෝ හෝයි කියාය.’ ඇවැත්නි, ඒ මට මේ අදහස ඇතිවිය. ‘යමක්හුගේ නැතිවීම වෙනස්වීම හේතුකොටගෙන සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදින්නාහුද, එවැනිවූ, කිසිවක් ලෝකයෙහි නැත’ කියායි.

“මෙසේ කීකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ඇවැත්, ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, ශාස්තෲන් වහන්සේගේ නැතිවීමෙන්ද වෙනස් වීමෙන්ද ඔබ වහන්සේට සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදින්නාහුද?”

“ඇවත, ශාස්තෲන් වහන්සේගේ නැතිවීමෙන්ද වෙනස්වීමෙන්ද, මාහට සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදින්නාහුය. එහෙත් මට මේ අදහස ඇති වන්නේය. ‘පින්වත, ඒකාන්තයෙන් මහත් ඍද්ධි ඇත්තාවූ, මහත් ආනුභාව ඇත්තාවූ, මහේශාක්‍යවූ සත්වයෙක් අතුරුදන් විය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ බොහෝ කාලයක් මුළුල්ලෙහි වැඩ සිටින සේක් නම්, එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝදෙනාට සැප පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ට අර්ථය පිණිස, හිත පිණිස, සැප පිණිස වන්නේය” කියායි.

“එය එසේමය, ආයුෂ්මත් ශාරිපුත්‍රයන් විසින් බොහෝ කලකට පෙර මමය, මගේය ගන්නා දෘෂ්ටිමානාසුසයෝ නසන ලදහ. එහෙයින් ආයුෂ්මත් ශාරිපුත්‍රයන්හට ශාස්තෲන් වහන්සේගේ නැතිවීමෙන්ද වෙනස් වීමෙන්ද, සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදින්නාහුය.”

(දෙවෙනි සාරිපුත්ත සූත්‍රය නිමි.)