සංයුත්තනිකායො
නිදාන වර්ගය
10. භික්ඛු සංයුත්තය
5. සුජාත සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. ඉක්බිති ආයුෂ්මත් සුජාත ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය.
භාග්‍යවතුන් වහන්සේ, එන්නාවූ ආයුෂ්මත් සුජාත තෙරුන් දුරදීම දුටුසේක. දැක, භික්ෂූන්හට කථා කළසේක. “මහණෙනි, මේ කුලපුත්‍රතෙම අංග දෙකකින් හොබනේය. (එනම්:-) විශිෂ්ට රූප ඇත්තේය. දැකුමට ප්‍රියවූ රූප ඇත්තේය. ප්‍රසාද එළවන්නේය. උතුම් වර්ණ සෞන්දර්‍ය්‍යයෙන් යුක්ත වූයේය යන යමක් වේද, යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව අවසානකොට ඇති ඒ උතුම් අර්ථය මේ ආත්මයෙහිදී තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ, වාසය කෙරෙයිද යන මේ අංග දෙකිනි.”
“භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. මෙය දේශනා කොට, ඊට අනතුරුව මේ ගාථාව දේශනා කළසේක.”
(1) “මේ මහණතෙම ඍජුවූ සිතින් ඒකාන්තයෙන් හොබනේය. (කෙලෙසුන්ගෙන්) මිදුනාවූ, (ආශ්‍රවයන්ගෙන්) වෙන්වූ, අනුපදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවියාවූ, (මේ සුජාත මහණතෙම) පිරිවර සහිත මාරයා දිනා, අන්තිම දේහය (ශරීරය) දරායයි වදාළ සේක.”
(පස්වෙනි සුජාත සූත්‍රය නිමි.)