සංයුත්තනිකායො

නිදාන වර්ගය

10. භික්ඛු සංයුත්තය

4. නව සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක.

එසමයෙහි වනාහි එක්තරා නවක (අලුත්) භික්ෂුවක් සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ විහාරයට පැමිණ ස්වල්ප උත්සාහ ඇත්තේ තූෂ්ණීම්භූතවූයේ, වාසය කෙරෙයි. සිවුරු කරන සමයෙහි මහණුන්හට වතාවත් නොකෙරෙයි.

ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පැත්තක හුන්නාහුය. එක් පැත්තක හුන්නාවූ, ඒ භික්ෂූහු වනාහි භාග්‍යවතුන්වහන්සේට මෙය කීවාහුය.

“ස්වාමීනි, මේ ශාසනයෙහි එක්තරා නවක (අලුත්) භික්ෂුවක් සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ වෙහෙරට පැමිණ, ස්වල්ප උත්සාහ ඇත්තේ, තූෂ්ණීම්භූත වූයේ, වාසය කෙරෙයි. සිවුරු කරන සමයෙහි මහණුන්හට වතාවත් නොකෙරෙයි” කියායි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වනාහි එක්තරා භික්ෂුවක්හට කථාකළසේක. “මහණ, නුඹ (මෙහි) එව. මාගේ වචනයෙන් ඒ මහණහට කථා කරව. ‘ඇවැත, ශාස්තෲන් වහන්සේ නුඹට කථා කරනසේකැයි’ කියායි.”

“එසේය, ස්වාමීනි”යි කියා ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී, ඒ අලුත් භික්ෂුව යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ඒ මහණහට මෙය කීයේය. ‘ඇවැත, ශාස්තෲන් වහන්සේ නුඹට කථා කරන සේකැයි’ කියායි. ‘ඇවත, එසේය’යි ඒ මහණතෙම වනාහි ඒ මහණහට පිළිතුරු දී, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ, ඒ මහණහට වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණ, නුඹ සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ වෙහෙරට පිවිස, ස්වල්ප උත්සාහ ඇත්තේ, තූෂ්ණීම්භූත වූයේ, වාසය කෙරෙහිය. සිවුරු කරන සමයෙහි මහණුන්හට වතාවත් නොකෙරෙහිය යනු සැබෑද?”

“ස්වාමීනි, මම වනාහි තමාගේ කෘත්‍යය කරමි”යි කීයේය.

ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ ඒ නවක මහණහුගේ සිත තමන්වහන්සේගේ සිතින් දැන, භික්ෂූන්හට කථා කළ සේක. ‘මහණෙනි, තෙපි මේ නවක මහණහට නුගුණ නොකියව් මහණෙනි, මේ මහණතෙම වනාහි උසස් සිත ඇසුරු කළාවූ, ඉහාත්මයෙහි සැප විහරණයවූ, සතර ධ්‍යානයන් කැමැති පරිදි ලබන්නෙක්, නිදුකින් ලබන්නෙක්, පහසුවෙන් ලබන්නෙක් වන්නේය. යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව අවසානකොට ඇති ඒ අනුත්තර අර්ථය මේ ආත්මයේදීම තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය කෙරේයයි” වදාළසේක.

භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. දේශනාකොට, ඊට අනතුරුව මේ ගාථා දේශනා කළසේක.

(1) “ලිහිල්වූ වීර්‍ය්‍යය කොට, ස්වල්ප උත්සාහයකින් සියලු කෙලෙස් ගැට මුදන්නාවූ, මේ නිර්වාණයට පැමිණිය නොහැක්කේය.”

(2) “මේ නවක මහණතෙම, මේ උත්තම පුරුෂ තෙම, සේනාව සහිතවූ මාරයා දිනා, අන්තිම දේහය (ශරීරය) දරායයි වදාළසේක.”

(සතරවෙනි නව සූත්‍රය නිමි.)