සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

11. අන්ත වර්ගය

7. සොතාපන්න සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මහණෙනි, උපාදානස්කන්ධ පසකි. කවර පසක්ද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනුයි. මහණෙනි, යම් හෙයකින් ආර්ය ශ්‍රාවකතෙමේ මේ පස් වැදෑරුම් උපාදානස්කන්ධයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිශ්ශරණයද, තත්වූ පරිදි දනීද, මහණෙනි, ඒ ආර්ය ශ්‍රාවකතෙමේ අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ, නියතවූ, අර්හත් බොධිය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ.

(හත්වෙනි සොතාපන්න සූත්‍රය නිමි.)