සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
11. අන්ත වර්ගය
9. ඡන්ද රාග සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, රූපය කෙරෙහි යම් (ඡන්දරාගයක්) ඇල්මක් ඇද්ද යම් නන්දිරාගයක් ඇද්ද, යම් තෘෂ්ණාවක් ඇද්ද, එය දුරු කරව්. මෙසේ ඒ රූපය ප්‍රහීනකරන ලද්දේ, සිඳිනලද මුල් ඇත්තේ, සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ, නැතිකරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වන්නේය.
“වේදනාවෙහි යම් ඡන්දරාගයක් ඇද්ද, ඇල්මක් ඇද්ද, යම් නන්දිරාගයක් ඇද්ද, යම් තෘෂ්ණාවක් ඇද්ද, එය දුරු කරව්. මෙසේ ඒ වේදනාව ප්‍රහීන කරන ලද්දේ, සිඳින ලද මුල් ඇත්තේ, සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ, නැති කරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වන්නේය.
“සංඥාවෙහි යම් ඡන්දරාගයක් ඇද්ද, ඇල්මක් ඇද්ද, යම් නන්දිරාගයක් ඇද්ද, යම් තෘෂ්ණාවක් ඇද්ද, එය දුරු කරව්. මෙසේ ඒ සංඥාව ප්‍රහීන කරන ලද්දේ, සිඳින ලද මුල් ඇත්තේ, සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ, නැති කරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වන්නේය.
“සංස්කාරයෙහි යම් ඡන්දරාගයක් ඇද්ද, ඇල්මක් ඇද්ද, යම් නන්දිරාගයක් ඇද්ද, යම් තෘෂ්ණාවක් ඇද්ද, එය දුරු කරව්. මෙසේ ඒ සංස්කාරය ප්‍රහීන කරන ලද්දේ, සිඳිනලද මුල් ඇත්තේ, සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ, නැති කරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වන්නේය.
“විඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයක් ඇද්ද, ඇල්මක් ඇද්ද, යම් නන්දිරාගයක් ඇද්ද, යම් තෘෂ්ණාවක් ඇද්ද, එය දුරු කරව්. මෙසේ ඒ විඤ්ඤාණය ප්‍රහීන කරන ලද්දේ, සිඳිනලද මුල් ඇත්තේ, සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ, නැති කරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වන්නේය.
(නවවෙනි ඡන්දරාග සූත්‍රය නිමි.)