සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
12. ධර්මකථික වර්ගය
10. සීල සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ හා ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේද මිගදාය නම්වූ ඉසිපතනයෙහි වාසය කරත්. එකල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැගී සිටියේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියහ. පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුට එළවන කථා කළසේක. සතුටු විය යුතු සිහිකටයුතු කථා අවසන්කොට එකත්පසක හිඳගත්හ. එකත්පසක හිඳගත් ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය කීහ.
“ආයුෂ්මත් ශාරිපුත්‍රයෙනි, සිල්වත් භික්ෂුව විසින් කවර ධර්මයන් නුවණින් මෙනෙහි කළ යුතුද?” “අයුෂ්මත් කොට්ඨිත, සිල්වත් භික්ෂුව විසින් පංච උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් විපතක් වශයෙන් ආබාධ වශයෙන් තමා නොවන්නක් වශයෙන් බිඳෙන්නක් වශයෙන් සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කළ යුතුය.
“ඒ කවර පසක්ද? එනම්:- රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන මොහුයි. ආයුෂ්මත් කොට්ඨිතයෙනි, සිල්වත් භික්ෂුව විසින් මේ පස් උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් විපතක් වශයෙන් ආබාධ වශයෙන් තමා නොවන්නක් වශයෙන් බිඳෙන්නක් වශයෙන් සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කළ යුතුය. යම් සිල්වත් භික්ෂුවක් මේ පඤ්චඋපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් විපතක් වශයෙන් ආබාධ වශයෙන් තමා නොවන්නක් වශයෙන් බිඳෙන්නක් වශයෙන් සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කරන්නේ සොතාපත්තිඵලය ප්‍රත්‍යක්ෂ කරන්නේය යන යමක් වේ නම් ඊට හේතු ඇත්තේය.”
“ආයුෂ්මත් ශාරිපුත්‍රයෙනි, සොතාපන්න භික්ෂුව විසින් කවර ධර්මයන් නුවණින් මෙනෙහි කටයුතුද?” “ආයුෂ්මත් කොට්ඨිතයෙනි, සොතාපන්න භික්ෂුව විසින්ද මේ පඤ්චඋපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් විපතක් වශයෙන් ආබාධ වශයෙන් තමා නොවන්නක් වශයෙන් බිඳෙන්නක් වශයෙන් සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කළ යුතුය. සොතාපන්න මහණතෙමේ මේ පඤ්චඋපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් විපතක් වශයෙන් ආබාධ වශයෙන් තමා නොවන්නක් වශයෙන් බිඳෙන්නක් වශයෙන් සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කරන්නේ සකෘදාගාමිඵලය ප්‍රත්‍යක්ෂ කරන්නේය යන යමක් වේ නම් ඊට හේතු ඇත්තේය.
“ආයුෂ්මත් ශාරිපුත්‍රයෙනි, සකෘදාගාමි භික්ෂුව විසින් කවර ධර්මයන් නුවණින් මෙනෙහි කටයුතුද?” “ආයුෂ්මත් කොට්ඨිතයෙනි, සකෘදාගාමි භික්ෂුව විසින්ද මේ පඤ්ච උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් විපතක් වශයෙන් ආබාධ වශයෙන් තමා නොවන්නක් වශයෙන් බිඳෙන්නක් වශයෙන් සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කටයුතුයි.
“යම් සකෘදාගාමි භික්ෂුවක් මේ පඤ්ච උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, විපතක් වශයෙන්, ආබාධ වශයෙන් තමා නොවන්නක් වශයෙන්, බිඳෙන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කරන්නේ අනාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කරන්නේය යන යමක් වේ නම් ඊට හේතු ඇත්තේය.
“ආයුෂ්මත් ශාරිපුත්‍රයෙනි, අනාගාමි මහණ විසින් කවර ධර්මයන් නුවණින් මෙනෙහි කටයුතුද?
“ආයුෂ්මත් කොට්ඨිතයෙනි, අනාගාමි භික්ෂුව විසින් ද මේ පඤ්ච උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන් ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, විපතක් වශයෙන්, ආබාධ වශයෙන්, තමා නොවන්නක් වශයෙන්, බිඳෙන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කටයුතුය. යම් අනාගාමි භික්ෂුවක් මේ පඤ්ච උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, විපතක් වශයෙන්, ආබාධ වශයෙන්, තමා නොවන්නක් වශයෙන්, බිඳෙන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කරන්නේ අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කරන්නේය යන යමක් වේ නම් ඊට හේතු ඇත්තේය.
“ආයුෂ්මත් ශාරිපුත්‍රයෙනි, රහත්වූ භික්ෂුව විසින් කවර අධර්මයන් මෙනෙහි කටයුතුද?
“ආයුෂ්මත් කොට්ඨිතයෙනි, රහත් භික්ෂුව විසිනුදු පඤ්ච උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, විපතක් වශයෙන්, ආබාධ වශයෙන්, තමා නොවන්නක් වශයෙන්, බිඳෙන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කටයුතුයි.
“ආයුෂ්මතුනි, රහතන් වහන්සේ විසින් මත්තෙහි කළ යුත්තක් හෝ කරණ ලද දෙයෙහි නැවත කිරීමක් නැත. එහෙත් භාවිතා කරණ ලද්දාවූ පුරුදු කරණ ලද්දාවූ මේ ධර්මයෝ මේ ආත්මයෙහි සැප විඳීම පිණිසද සිහිනුවණ පිණිසද පවතිත්.
(දහවෙනි සීල සූත්‍රය නිමි.)