සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

14. කුක්කුල වර්ගය

1. කුක්කුල සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, රූපය උණු අළුමෙනි, වේදනාව උණු අළුමෙනි, සංඥාව උණු අළුමෙනි, සංස්කාර උණු අළුමෙනි, විඥානය උණු අළුමෙනි. මහණෙනි, මෙසේ බලන්නාවූ ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයා රූපයෙහිද කළකිරෙයි, වේදනාවෙහිද කළකිරෙයි, සංඥාවෙහිද කළකිරෙයි. සංස්කාරයන්හිද කළකිරෙයි, විඥානයෙහිද කළකිරෙයි, කළකිරුණේ නොඇලෙයි. නොඇලීමෙන් (කෙලෙසුන්ගෙන්) මිදේ. මිදුණු කල්හි මිදුණේයයි දැනීම වේ. ජාති තොමෝ ක්ෂයවූවාය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලද්දේය. සතර මාර්ගයෙන් කටයුතු කොට නිමවන ලද්දේය. මේ රහත් බව පිණිස කළයුතු අනිකක් නැතැයි විශෙෂයෙන් දැනගනී.”

(පළමුවෙනි කුක්කුල සූත්‍රය නිමි.)