සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

3. භාර වර්ගය

10. අඝමූල සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, තොපට දුකද, දුකට මුලද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, දුක කවරේද? මහණෙනි, රූපය දුකකි. වේදනාව දුකකි. සංඥාව දුකකි. සංස්කාර දුකකි. විඤ්ඤාණය දුකකි. මහණෙනි, මේ දුකයයි කියනු ලැබේ.

“මහණෙනි, දුකට මුල කවරේද? යම් ඒ නැවත නැවත ඉපදීම ඇති කරන්නාවූ, නන්දිරාගය සහිතවූ ඒ ඒ භවයෙහි ඇලෙන්නාවූ යම් ඒ තෘෂ්ණාවක් වේද, එනම්:- කාම තණ්හාවය, භව තණ්හාවය, විභව තණ්හාවය යන මොහුයි. මහණෙනි, මේ දුකට මුලයි.

(දසවෙනි අඝමූල සූත්‍රය නිමි.)