සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
3. භාර වර්ගය
11. පභඩ්ගු සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, තොපට බිඳෙන ස්වභාවය ඇති ධර්මයද, නොබිඳෙන ස්වභාවය ඇති ධර්මයද, දේශනා කරන්නෙමි. එය අසව්. බිඳෙන ස්වභාවය ඇති ධර්මය කුමක්ද? නොබිඳෙන ස්වභාවය ඇති ධර්මය කුමක්ද?
“මහණෙනි, රූපය බිඳෙන ස්වභාවය ඇත්තේය. ඒ රූපයාගේ යම් නිරොධයක්, විනාශයක්, සංසිඳීමක් ඇත්තේද? එය නොබිඳෙන ස්වභාවය ඇත්තේය.
“වේදනාව බිඳෙන ස්වභාවය ඇත්තේය. වේදනාවේ යම් නිරොධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, ඒ නොබිඳෙන ස්වභාවය ඇත්තේය.
“සංඥාව බිඳෙන ස්වභාවය ඇත්තේය. සංඥාවේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, ඒ නොබිඳෙන ස්වභාව ඇත්තේය.
‘සංස්කාරයෝ බිඳෙන ස්වභාවය ඇත්තාහුය. සංස්කාරයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, ඒ නොබිඳෙන ස්වභාව ඇත්තේය.
“විඤ්ඤාණය බිඳෙන ස්වභාවය ඇත්තේය. විඤ්ඤාණයේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, ඒ නොබිඳෙන ස්වභාව ඇත්තේය.
(එකොළොස්වෙනි පභංගු සූත්‍රය.)
තුන්වැනි භාර වර්ගයයි.
භාර වර්ගයෙහි සංග්‍රහය.
භාර සූත්‍රය, පරිඤ්ඤා සූත්‍රය, අභිජාන සූත්‍රය, ඡන්දරාග සූත්‍රය, අස්සාද සූත්‍ර තුනය, අභිනන්දන සූත්‍රය, උප්පාද සූත්‍රය, අඝමූල සූත්‍රය, පභඩ්ගු සූත්‍රය යන මොහුයි.