සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
1. නකුල පිතු වර්ගය
4. හාලිද්දකානි සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන් වහන්සේ අවන්ති ජනපදයෙහි කුරරඝර නගරයෙහි පවත්ත නම් පර්වතයෙහි වාසය කරති. එකල්හි හාලිද්දකානි නම් ගෘහපතිතෙම ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන් වහන්සේට වැඳ, එක්පසෙක උන්නේය. එක්පසෙක උන්නාවූ හාලිද්දකානි ගෘහපතිතෙම ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන් වහන්සේට මේ කාරණය සැලකෙළේය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ශක්‍ර ප්‍රශ්නයේදී ‘යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් මිදුණාහුද, ඔව්හු ඒකාන්ත නිෂ්ටාවට පැමිණියාහු ඒකාන්තයෙන් යොගයන් ක්ෂය කළාහු, ඒකාන්ත බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තාහු, ඒකාන්ත කෙළවරට පැමිණියාහු, දිව්‍ය මනුෂ්‍යයන්ට ශ්‍රෙෂ්ඨයෝ වෙත්’ යන මෙය වදාරනලදී.
“ස්වාමීනි, භාග්‍යවත්හු විසින් සැකෙවින් වදාරණලද මේ වචනයාගේ අර්ථය විස්තර වශයෙන් කෙසේ දතයුතුදැයි” ඇසීය.
“ගෘහපතිය, රූප ස්කන්ධයෙහි වනාහි යම් ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තණ්හාවක් වේද, යම් උපාය සහ උපාදානයෝ වෙද්ද, අකුසල් සිතට ස්ථානවූ අනුසයයෝ වෙත්ද, ඔවුන්ගේ ක්ෂයවීමෙන්ද, විරාගයෙන්ද, නිරෝධයෙන්ද, දුරු කිරීමෙන්ද, සිත මොනවට මිදුනේයයි කියනු ලැබේද?
“ගෘහපතිය, වේදනා ස්කන්ධයෙහි වනාහි යම් ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තණ්හාවක් වේද, යම් උපාය සහ උපාදානයෝ වෙත්ද, අකුසල් සිතට ස්ථානවූ අනුසයයෝ වෙත්ද, ඔවුන්ගේ ක්ෂයවීමෙන්, විරාගයෙන්, නැතිකිරීමෙන්, අත්හැරීමෙන්, දුරු කිරීමෙන්, සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.
“ගෘහපතිය, සංඥා ස්කන්ධයෙහි වනාහි යම් ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තණ්හාවක් වේද, යම් උපාය සහ උපාදානයෝ වෙත්ද, අකුසල් සිතට ස්ථානවූ අනුසයයෝ වෙත්ද, ඔවුන්ගේ ක්ෂයවීමෙන්, විරාගයෙන්, නැති කිරීමෙන්, අත්හැරීමෙන්, දුරු කිරීමෙන්, සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.
“ගෘහපතිය, සංස්කාර ස්කන්ධයෙහි වනාහි යම් ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තණ්හාවක් වේද, යම් උපාය සහ උපාදානයෝ වෙත්ද, අකුසල් සිතට ස්ථානවූ අනුසයයෝ වෙත්ද, ඔවුන්ගේ ක්ෂයවීමෙන්, විරාගයෙන්, නැති කිරීමෙන්, අත්හැරීමෙන්, දුරු කිරීමෙන්, සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.
‘ගෘහපතිය, විඥාන ස්කන්ධයෙහි යම් ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තණ්හාවක් වේද, යම් උපාය සහ උපාදානයෝ වෙත්ද, අකුසල් සිතට ස්ථානවූ අනුසයයෝ වෙත්ද, ඔවුන්ගේ ක්ෂයවීමෙන්, විරාගයෙන්, නිරොධයෙන්, අත්හැරීමෙන්, දුරු කිරීමෙන්, සිත මොනවට මිදුනේයයි කියනු ලැබේ.
“යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ තණ්හාව නැතිකිරීමෙන් මිදුණාහු වෙත්ද, ඔවුහු ඒකාන්ත නිෂ්ටාවට පැමිණියාහු, ඒකාන්තයෙන් යොගයන් ක්ෂය කළාහු, ඒකාන්ත බ්‍රහ්මචර්‍ය්‍යාව ඇත්තාහු, දෙවි මිනිසුන්ට ශ්‍රෙෂ්ඨයෝ වෙත් යන යම් වචනයක් භාග්‍යවතුන් වහන්සේ විසින් ශක්‍ර ප්‍රශ්නයේදී වදාළේද, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාළ මේ වචනයාගේ අර්ථ විස්තර වශයෙන් මෙසේ දතයුතු.”
(හතරවෙනි හාලිද්දකානි සූත්‍රය නිමි.)