සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
5. අත්තදීප වර්ගය
5. සමනුපස්සනා සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම් ඒ ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ නොයෙක් ආත්මයන් දක්නාහු දකිත්ද, ඒ සියල්ලෝ උපාදානස්කන්ධ පසම හෝ එයින් එකක් හෝ දකිත්. ඒ කවර පසක්ද? මහණෙනි, මේ ශාසනයෙහි බොහෝ ඇසූ පිරූ තැන් නැති, ආර්‍ය්‍යයන් නොදක්නාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂ නොවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නොදක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ නොවූ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ, පෘථග්ජනතෙම රූපය ආත්මය වශයෙන් දකියි. ආත්මය රූපවත්යයි හෝ දකියි. රූපය ආත්මය කෙරෙහි හෝ ඇතැයි දකියි. ආත්මය රූපය කෙරෙහි හෝ ඇතැයි දකියි.
“වේදනාව ආත්ම වශයෙන් දකියි. ආත්මය වේදනාවත් යයි හෝ දකියි. වේදනාව ආත්මය කෙරෙහි හෝ ඇතැයි දකියි. ආත්මය වේදනාව කෙරෙහි හෝ ඇතැයි දකියි.
“සංඥාව ආත්ම වශයෙන් දකියි. ආත්මය සංඥාවත්යයි හෝ දකියි. සංඥාව ආත්මය කෙරෙහි හෝ ඇතැයි දකියි. ආත්මය සංඥාව කෙරෙහි හෝ ඇතැයි දකියි.
“සංස්කාර ආත්ම වශයෙන් දකියි. ආත්මය සංස්කාරවත්යයි හෝ දකියි. සංස්කාර ආත්මය කෙරෙහි හෝ ඇතැයි දකියි. ආත්මය සංස්කාර කෙරෙහි හෝ ඇතැයි දකියි.
“විඤ්ඤාණය ආත්ම වශයෙන් හෝ දකියි. ආත්මය විඤ්ඤාණවත්යයි හෝ දකියි. විඤ්ඤාණය ආත්මය කෙරෙහි හෝ ඇතැයි දකියි. ආත්මය විඤ්ඤාණය කෙරෙහි හෝ ඇතැයි දකියි.
මෙසේ මේ දෘෂ්ටි වශයෙන් ඔහුට ‘මම වෙමි’ යන තණ්හා, මාන, දෘෂ්ටීන්ගෙන් ගැනීම ඇතිවෙයි. මහණෙනි, ‘මම වෙමි’ යන ගැනීම ඇතිවූ කල්හි චක්ඛු ඉන්ද්රිය, සොත ඉන්ද්රිය, ඝාන ඉන්ද්රිය, ජිව්හා ඉන්ද්රිය, කාය ඉන්ද්රිය යන පඤ්චෙන්ද්රියයන්ගේ පහළවීම වෙයි. මහණෙනි, සිත ඇත. අරමුණ ඇත. අවිද්‍යා ධාතුව ඇත. මහණෙනි, අවිද්‍යාවෙන් යුක්ත ස්පර්ශයෙන් උපන් විඳීම ලැබූ ඇසූ පිරූ තැන් නැති පෘථග්ජනයාහට ‘මම වෙමි’යි (තණ්හා මාන දෘෂ්ටි වශයෙන්) ඇති හැඟීම වෙයි.
“මේ ‘මම වෙමි’යි (ආත්ම දෘෂ්ටි වශයෙන්) හැඟීම ඇති වෙයි. (මතු) වන්නේයයි (ශාස්වත දෘෂ්ටි වශයෙන්) හැඟීම ඇතිවෙයි. මතු නොවන්නේ යයි (උච්ඡෙද දෘෂ්ටි වශයෙන්) හැඟීම් ඇති වෙයි. රූපවන්තයෙක් වන්නේයයි හැඟීම ඇති වෙයි. රූපය නැත්තෙක් වන්නේයයි හැඟීම ඇතිවෙයි සංඥාව ඇත්තෙක් වන්නේයයි හැඟීම ඇතිවෙයි. සංඥාව නැත්තෙක් වන්නේයයි හැඟීම ඇති වෙයි. සංඥාව ඇත්තෙක් නැත්තෙක් වන්නේයයි හැඟීම ඇති වෙයි. මහණෙනි, පඤ්චෙන්ද්රියයෝ එහිම සිටිත්. ඉක්බිති මෙහිදී බොහෝ ඇසූ පිරූ තැන් ඇති (ශ්‍රැතවත්) ආර්‍ය්‍යශ්‍රාවකයාගේ අවිද්‍යාව ප්‍රහීණ වේ. (නැතිවේ). විද්‍යාව ඇතිවේ. අවිද්‍යාව නැතිවීමෙන්, විද්‍යාව ඇතිවීමෙන් ඒ ආර්‍ය්‍යශ්‍රාවකයාහට ‘මම වෙමි’යි (තණ්හා, මාන වශයෙන්) හැඟීම ඇති නොවෙයි. මේ මම වෙමියි (ආත්ම දෘෂ්ටි වශයෙන්) හැඟීම ඇති නොවෙයි. (මතු) වන්නේයයි (ශාස්වත දෘෂ්ටි වශයෙන්) හැඟීම ඇති නොවෙයි. (මතු) නොවන්නේයයි (උච්ඡේද දෘෂ්ටි වශයෙන්) හැඟීම ඇතිනොවෙයි. රූපවන්තයෙක් වන්නේයයි හැඟීම ඇතිනොවෙයි. රූපය නැත්තෙක් වන්නේයයි හැඟීම ඇති නොවෙයි. සංඥාව ඇත්තෙක් වන්නේයයි හැඟීම ඇති නොවෙයි. සංඥාව නැත්තෙක් වන්නේයයි හැඟීම ඇති නොවෙයි. සංඥාව ඇත්තෙක් නැත්තෙක් වන්නේයයි හැඟීම ඇති නොවෙයි කියයි.”
(පස්වෙනි සමනුපස්සනා සූත්‍රය නිමි.)