සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
5. අත්තදීප වර්ගය
6. ස්කන්ධ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, පඤ්චස්කන්ධයන් හා පඤ්ච උපාදාන ස්කන්ධයන්ද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, පඤ්චස්කන්ධයෝ කවරහුද?
“මහණෙනි, අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි රූපයක් වෙයිද, මේ රූපස්කන්ධයයි කියනු ලැබේ.
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි වේදනාවක් වෙයිද, මේ වේදනාස්කන්ධයයි කියනු ලැබේ.
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි සංඥාවක් වෙයිද, මෙය සංඥාස්කන්ධයයි කියනු ලැබේ.
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි සංස්කාරයක් වෙයිද, මෙය සංස්කාරස්කන්ධයයි කියනු ලැබේ.
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි විඤ්ඤාණයක් වෙයිද,
මෙය විඤ්ඤාණස්කන්ධයයි කියනු ලැබේ. මහණෙනි, මොව්හු පඤ්චස්කන්ධයයි කියනු ලැබේ.
“මහණෙනි, පඤ්චඋපාදානස්කන්ධයෝ කවරහුද?
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ ආශ්‍රව සහිතවූ උපාදානයන්ට අරමුණුවූ යම්කිසි රූපයක් වෙයිද, මහණෙනි, මේ රූප උපාදානස්කන්ධයයි කියනු ලැබේ.
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ ආශ්‍රව සහිතවූ, උපාදානයන්ට අරමුණුවූ යම්කිසි වේදනාවක් වෙයිද, මෙය වේදනා උපාදානස්කන්ධයයි කියනු ලැබේ.
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ ආශ්‍රව සහිතවූ උපාදානයන්ට අරමුණුවූ යම්කිසි සංඥාවක් වෙයිද, මෙය සංඥා උපාදානස්කන්ධයයි කියනු ලැබේ.
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ ආශ්‍රව සහිතවූ උපාදානයන්ට අරමුණුවූ යම්කිසි සංස්කාරයෝ වෙත්ද, මෙය සංස්කාර උපාදානස්කන්ධයයි කියනු ලැබේ.
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ ආශ්‍රව සහිතවූ, උපාදානයන්ට අරමුණුවූ යම්කිසි විඤ්ඤාණයක් වෙයිද, මෙය විඤ්ඤාණ උපාදානස්කන්ධයයි කියනු ලැබේ. මහණෙනි, මොවුහු වනාහි පඤ්ච උපාදානස්කන්ධයෝයි කියනු ලැබෙත්.”
(හයවෙනි ස්කන්ධ සූත්‍රය නිමි.)