සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
6. උපාය වර්ගය
7. පඤ්චවග්ග සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා පස්වග භික්ෂූන්ට කථාකළ සේක. ඒ භික්ෂූහු ‘ස්වාමීනි’යි භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
“මහණෙනි, රූපය අනාත්මය, මහණෙනි, ඉදින් වනාහි මේ රූපය ආත්මය වූයේනම් මේ රූපය ආබාධ පිණිස නොපවත්නේය. මගේ රූපය මෙසේ වේවා, ‘මගේ රූපය මෙසේ නොවේවායි’ කියා රූපයෙහි කැමති ආකාරයක්ද ලබන්නේය.
“මහණෙනි, යම්හෙයකින් රූපය අනාත්මද, එහෙයින් රූපය ආබාධ පිණිස පවතී. ‘මගේ රූපය මෙසේ වේවා, මගේ රූපය මෙසේ නොවේවයි’ කියා රූපයෙහි කැමැති ආකාරයක්ද නොලැබෙන්නේය.
“මහණෙනි, වේදනාව අනාත්මය. මහණෙනි, ඉදින් මේ වේදනාව ආත්මය වූයේනම් මේ වේදනාව ආබාධ පිණිස නොපවත්නේය. ‘මගේ වේදනාව මෙසේ වේවා, මාගේ වේදනාව මෙසේ නොවේවායි’ වේදනාවෙහි (මෙබන්දක්) ලැබෙන්නේය.
“මහණෙනි, යම්හෙයකින් වනාහි වේදනාව අනාත්මද, එහෙයින් වේදනාව ආබාධ පිණිස පවතියි. ‘මගේ වේදනාව මෙසේ වේවා, මගේ වේදනාව මෙසේ නොවේවායි’ කියා වේදනාවෙහි (මෙබන්දක්) නොලැබෙන්නේය.
“මහණෙනි, සංඥාව අනාත්මය. මහණෙනි, ඉදින් මේ සංඥාව අනාත්මය වූයේ නම්, මේ සංඥාව ආබාධ පිණිස නොපවත්නේය. ‘මාගේ සංඥාව මෙසේ වේවා, මාගේ සංඥාව මෙසේ නොවේවායි’ සංඥාවෙහි (මෙබන්දක්) ලැබෙන්නේය.
“මහණෙනි, යම්හෙයකින් වනාහි සංඥාව අනාත්මද, එහෙයින් සංඥාව ආබාධ පිණිස පවතියි. ‘මගේ සංඥාව මෙසේ වේවා මගේ සංඥාව මෙසේ නොවේවයි’ කියා සංඥාවෙහි (මෙබන්දක්) නොලැබෙන්නේය.
“මහණෙනි, සංස්කාරයෝ අනාත්මයහ. ඉදින් මේ සංස්කාරයෝ ආත්ම වූවාහුනම් සංස්කාරයෝ ආබාධ පිණිස නොවන්නාහුය. ‘මාගේ මේ සංස්කාරයෝ මෙසේ වෙත්වා, මාගේ මේ සංස්කාරයෝ මෙසේ නොවෙත්වා’ සංස්කාරයන් කෙරෙහි (මෙබන්දක්) ලබන්නේය.
“මහණෙනි, යම්හෙයකින් සංස්කාරයෝ අනාත්මද, එහෙයින් සංස්කාරයෝ ආබාධ පිණිස පවතිත්. ‘මාගේ මේ සංස්කාරයෝ මෙසේ වෙත්වා. මාගේ මේ සංස්කාරයෝ මෙසේ නොපවත්වායි” ‘සංස්කාරයන් කෙරෙහි (මෙබන්දක්) නොමලැබෙයි.
“මහණෙනි, විඥානය අනාත්මය. මේ විඥානය ආත්මය වූයේනම්, මේ විඥානය ආබාධ පිණිස නොපවත්නේය. මාගේ මේ විඥානය මෙසේ වේවා, මාගේ මේ විඥානය මෙසේ නොවේවායි විඥානයෙහි (මෙබන්දක්) ලැබෙන්නේය.
“මහණෙනි, යම්හෙයකින් වනාහි විඥානය අනාත්මද එහෙයින් විඥානය ආබාධ පිණිස පවතියි. ‘මාගේ මේ විඥානය, මෙසේ වේවා, මාගේ මේ විඥානය මෙසේ නොවේවායි’, විඥානය, කෙරෙහි (එබන්දක්) නොමලැබෙයි.
“මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද, රූපය නිත්‍ය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි, අනිත්‍යය,” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි දුකය,” “යමක් අනිත්‍යයද, දුකද පෙරලෙන සුලුද, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි කියා දැකීමට සුදුසු වේද?” “ස්වාමීනි, එය නොවේමය.”
“මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? වේදනාව නිත්‍ය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි අනිත්‍යයයි,” “යමක් වනාහි අනිත්‍යද එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි දුකය,” “යමක් අනිත්‍යයද දුකද පෙරලෙන සුලුද එය මාගේය. එය මම වෙමි එය මාගේ ආත්මයයි කියා දැකීමට සුදුසු වේද?”
“ස්වාමීනි එය නොවේමය.”
“මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද, සංඥාව නිත්‍ය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි අනිත්‍යයයි” “යමක් වනාහි අනිත්‍යද එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි දුකය,” “යමක් අනිත්‍යයද දුකද පෙර ලෙස සුලුද එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි කියා දැකීමට සුදුසු වේද?” “ස්වාමීනි එය නොවේමය.
“මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? සංස්කාරයෝ නිත්‍ය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි අනිත්‍යයයි” “යමක් වනාහි අනිත්‍යද එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි දුකය,” “යමක් අනිත්‍යයද දුකද පෙරලෙන සුලුද එය මාගේය එය මම වෙමි. එය මාගේ ආත්මයයි කියා දැකීමට සුදුසු වේද?” “ස්වාමීනි එය නොවේමය.”
‘විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” “ස්වාමීනි අනිත්‍යය,” “යමක් අනිත්‍යයද එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි දුකය,” “යමක් අනිත්‍යද, දුකද වෙනස්වන සුලුද එය මාගේය. එය මම වෙමි. එය මගේ ආත්මයයි දැකීමට සුදුසු වේද?” “ස්වාමීනි එය නොවේමය”
“මහණෙනි එසේ හෙයින් මෙහි අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීත වූ හෝ දුරවූ හෝ සමීපයෙහි වූ හෝ අතීතවූද අනාගතවූද දැන් පවත්නාවූද යම්කිසි රූපයක්වේද ඒ සියලු රූපය ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි’ කියා තත්වූ පරිදි යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි.
“මහණෙනි, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපයෙහිවූ හෝ අතීතවූද අනාගතවූද දැන් පවත්නාවූද යම්කිසි වේදනාවක්වේද ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙයි. එය මාගේ ආත්මයද නොවෙයි‘ කියා තත්වූ පරිදි යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි.
“මහණෙනි, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සියුම්වූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපයෙහිවූ හෝ අතීතවූද අනාගතවූද දැන් පවත්නාවූද යම්කිසි සංඥාවක්වේද එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මයද නොවෙයි’ කියා තත්වූ පරිදි යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි.
“මහණෙනි, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සියුම්වූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපයෙහිවූ හෝ අතීතවූද අනාගතවූද දැන් පවත්නාවූද යම්කිසි සංස්කාරයෝත් වෙත්ද, එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මයද නොවෙයි’ කියා තත්වූ පරිදි යහපත් ප්‍රඥාවෙන් දත් යුතුයි.
“මහණෙනි, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සියුම්වූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපයෙහිවූ හෝ අතීතවූද අනාගතවූද දැන් පවත්නාවූද යම්කිසි විඥානයක් වේද, ඒ සියලු විඥානය ‘එය මාගේ නොවෙයි එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි’ කියා තත්වූ පරිදි යහපත් ප්‍රඥාවෙන් දතයුතුයි.
“මහණෙනි මෙසේ දක්නාවූ ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ රූපය කෙරෙහිද කලකිරෙයි, වේදනාව කෙරෙයිද, සංඥාව කෙරෙහිද, සංස්කාරයන් කෙරෙහිද, විඥානය කෙරෙහිද, කලකිරෙයි, කලකිරුනේ නොඇලෙයි, නොඇලීමෙන් (කෙලෙසුන් කෙරෙන්) මිදෙයි, මිදුනු කල්හි මිදුනේය යන නුවණ (පහළ) වෙයි. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවනලදී. කළයුත්ත කරන ලදී. මේ ආත්මභාවය සඳහා කළයුතු අනිකක් නැත්තේයයි දනියි” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටුසිත් ඇති පස්වග භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ. මේ ධර්මය දෙශනා කළ කල්හි පස්වග භික්ෂූන්ගේ සිත් දැඩි කොට අල්වා නොගැනීමෙන් (කෙලෙසුන්ගෙන්) මිදුනාහුය.
(හත්වෙනි පඤ්ඤවග්ග සූත්‍රය නිමි.)