සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
6. උපාය වර්ගය
8. මහාලි සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර සමීපයෙහිවූ මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වාසය කරනසේක. එකල්හි මහාලී නම් ලිච්ඡවිතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක්හි හුන්නේය. එක්පසෙක්හි හුන්නාවූ මහාලි ලිච්ඡවිතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය.
“ස්වාමීනි, පූරණ කාශ්‍යපතෙමේ මෙසේ කීයේය. ‘සත්වයන්ගේ කෙළෙසීමට හේතුවක් ප්‍රත්‍යයක් නැත. අහේතු අප්‍රත්‍යයෙන් සත්වයෝ කෙළෙසෙත්. සත්වයන්ගේ විශුද්ධිය පිණිස හේතුවක් ප්‍රත්‍යයක් නැත. අහේතු අප්‍රත්‍යයෙන් සත්වයෝ පිරිසිදු වෙත්.’ මේ කරුණෙහි ලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරණසේක්දැයි” විචාළේය.
‘මහාලිය, සත්වයන්ගේ කෙළෙසීම පිණිස හේතු ඇත. ප්‍රත්‍යය ඇත. සහේතු සප්රත්යයෙන් සත්වයෝ කෙළෙසෙත්. මහාලිය, සත්වයන්ගේ පිරිසිදුවීම පිණිසද, හේතු ඇත, ප්‍රත්‍යය ඇත. සහේතු සප්රත්යයෙන් සත්වයෝ පිරිසිදු වෙත්”යි වදාළේය.
“ස්වාමීනි, සත්වයන්ගේ කෙළෙසීම පිණිස වනාහි හේතු කවරේද, ප්‍රත්‍යය කවරේද, සහේතු සප්රත්යයෙන් සත්වයෝ කෙසේ නම් කෙළෙසෙත්දැ”යි විචාළේය.
“මහාලිය, මේ රූපය වනාහි ඒකාන්තයෙන් දුක් වන්නේවේද දුකට වැටෙන්නේ වේද, දුකට බසින්නේ වේද, සැපයෙන් නොබස්නේ වේද, මේ සත්වයෝ රූපයෙහි නොඇලෙන්නාහුය. මහාලිය, යම් හේතුවකින් වනාහි මේ රූපය සැප වන්නේද, සැපට පැමිණෙන්නේද, සැපට බස්නේද, සැපයෙන් යුක්තද, එහෙයින් සත්වයෝ රූපයෙහි ඇලෙන්නාහුය. ඇලීම හේතුකොටගෙන බැඳෙන්නාහුය. බැඳීම හේතුකොට ගෙන කෙලෙසෙත්. මහාලිය, සත්වයන්ගේ කෙලෙසීම පිණිස මෙයද හේතුවේ. මෙයද ප්‍රත්‍යයවේ. මෙසේද සහේතුසප්රත්යයයෙන් සත්වයෝ කෙළෙසෙත්.
“මහාලිය, මේ වේදනාවද ඒකාන්තයෙන් දුක් වන්නීද, දුකට වැටෙන්නේද, දුකට පැමිණෙන්නේද, දුකින්ම යුක්තවේද, මේ වේදනාව කෙරෙහි සත්වයෝ නොඇලෙන්නාහ. මහාලිය යම් හේතුවකින් වනාහි වේදනාව සැප වන්නීද, සැපට වැටෙන්නීද, සැපට පැමිණෙන්නේද, සැපයෙන් යුක්තද, එබැවින් සත්වයෝ වේදනාවෙහි ඇලෙත්. ඇලීමෙන් බැඳෙත්. බැඳීමෙන් කෙළෙසෙත්. මහාලිය, සත්වයන්ගේ කෙලෙසීම පිණිස මෙයද හේතුවෙයි. මෙයද ප්‍රත්‍යය වෙයි. මෙසේද සහේතු සප්රත්යයෙන් සත්වයෝ කෙළෙසෙත්.
“මහාලිය, මේ සංඥාවද ඒකාන්තයෙන් දුක් වන්නීද, දුකට වැටෙන්නේද, දුකින්ම යුක්තවේද, මේ සංඥාව කෙරෙහි සත්වයෝ නොඇලෙන්නාහ. මහාලිය, යම් හේතුවකින් වනාහි සංඥාව සැප වන්නීද, සැපට වැටෙන්නීද, සැපට පැමිණෙන්නීද, සැපයෙන් යුක්තද, එබැවින් සත්වයෝ සංඥාවෙහි ඇලෙත්. ඇලීමෙන් බැඳෙත්. බැඳීමෙන් කෙළෙසෙත්. මහාලිය, සත්වයන්ගේ කෙළෙසීම පිණිස මෙයද හේතුවෙයි. මෙයද ප්‍රත්‍යය වෙයි. මෙසේද සහේතු සප්රත්යයෙක් සත්වයෝ කෙළෙසෙත්.
“මහාලිය, මේ සංස්කාරයෝද ඒකාන්තයෙන් දුක් වන්නාහුද, දුකට වැටුනාහුද, දුකට පැමිණෙන්නාහුද, දුකින් යුක්ත වූවාහුද, සත්වයෝ මේ සංස්කාරයන් කෙරෙහි නොඇලෙන්නාහ. මහාලිය, යම් හේතුවකින් වනාහි සංස්කාරයෝ සැප වන්නාහුද, සැපතට වැටෙන්නාහුද, සැපට බස්නාහුද, සැපයෙන් යුක්ත වන්නාහුද, එහෙයින් සත්වයෝ සංස්කාරයන් කෙරෙහි ඇලෙත්. ඇලීමෙන් බැඳෙත්. බැඳීමෙන් කෙළෙසෙත්. මහාලිය, සත්වයන්ගේ කෙළෙසීම පිණිස මෙයද හේතුවෙයි. මෙයද ප්‍රත්‍යය වෙයි. මෙසේද සහේතු සප්රත්යයෙන් සත්වයෝ කෙළෙසෙත්.
“මහාලිය, මේ විඤ්ඤාණය වනාහි ඒකාන්තයෙන් දුක් වන්නේද, දුකට වැටෙන්නේද, දුකට බසින්නේද, දුකින් යුක්තවේද, සත්වයෝ මේ විඤ්ඤාණය කෙරෙහි නොඇලෙන්නාහ. මහාලිය, යම් හෙයකින් වනාහි විඤ්ඤාණය සැපද, සැපට වැටෙන්නේද, සැපට පැමිණෙන්නේද සැපයෙන් යුක්තද, එහෙයින් සත්වයෝ මේ විඤ්ඤාණය කෙරෙහි ඇලෙත්. ඇලීමෙන් බැඳෙත්. බැඳීමෙන් කෙළෙසෙත්. මහාලිය, සත්වයන්ගේ කෙළෙසීම පිණිස මෙයද වනාහී හේතුවෙයි. මෙයද ප්‍රත්‍යය වෙයි. මෙසේ සහේතු සප්රත්යයෙන් සත්වයෝ කෙළෙසෙත්යයි” වදාළේය.
“ස්වාමීනි, සත්වයන්ගේ පරිසුද්ධිය පිණිස වනාහි හේතු කවරේද, ප්‍රත්‍යය කවරේද? සහේතු සප්රත්යයෙන් සත්වයෝ කෙසේ පිරිසිදු වෙත්ද?”
“මහාලිය, මේ රූපය වනාහි ඒකාන්තයෙන් සැපවන්නේද, සැපට වැටෙන්නේද, සැපට පැමිණෙන්නේද, සැපට බස්නේද, දුකින් නොබසින්නේද, සැපයෙන් යුක්තද, සත්වයෝ මේ රූපය කෙරෙහි නොකළකිරෙන්නාහ. මහාලිය යම් හේතුවකින් වනාහි රූපය දුකද, දුකට වැටෙන්නේද, දුකට පැමිණෙන්නේද, සැපයෙන් නොබස්නේද, එහෙයින් සත්වයෝ රූපය කෙරෙහි කළකිරෙත්. කළකිරීමෙන් නොඇලෙත්. නොඇලීමෙන් පිරිසිදු වෙත්. මහාලිය සත්වයන්ගේ විසුද්ධිය පිණිස මෙයද හේතුවෙයි. මෙයද ප්‍රත්‍යය වෙයි. මෙසේද සහේතු සප්රත්යයෙන් සත්වයෝ පිරිසිදු වෙත්.
“මහාලිය, මේ වේදනාව වනාහි ඒකාන්තයෙන් සැපවන්නේද, සැපයට වැටෙන්නේද, සැපයට පැමිණෙන්නේද, දුකින් නොබසින්නේද, සැපයෙන් යුක්තද, සත්වයෝ මේ වේදනාව කෙරෙහි නොකළකිරෙන්නාහ. මහාලිය, යම් හේතුවකින් වනාහි වේදනාව දුක්වන්නේද, දුකට වැටෙන්නේද, දුකට පැමිණෙන්නේද, සැපයෙන් නොබස්නේද, එහෙයින් සත්වයෝ වේදනාව කෙරෙහි කළකිරෙත්. කළකිරීමෙන් නොඇලෙත්. නොඇලීමෙන් පිරිසිදු වෙත්. මහාලිය, සත්වයන්ගේ පිරිසිදුවීම පිණිස මෙයද හේතුවෙයි. මෙයද ප්‍රත්‍යය වෙයි. මෙසේද සහේතු සප්රත්යයෙන් සත්වයෝ පිරිසිදු වෙත්.
“මහාලිය, මේ සංඥාව වනාහි ඒකාන්තයෙන් සැප වන්නේද, සැපයට වැටෙන්නේද, සැපයට පැමිණෙන්නේද, දුකින් නොබසින්නේද, සැපයෙන් යුක්තද සත්වයෝ මේ සංඥාව කෙරෙහි නොකළකිරෙන්නාහ.
“මහාලිය, යම් හේතුවකින් වනාහි සංඥාව දුක්වන්නීද, දුකට වැටෙන්නේද, දුකට පැමිණෙන්නේද, සැපයෙන් නොබස්නේද, එහෙයින් සත්වයෝ සංඥාව කෙරෙහි කළකිරෙත්. කළකිරීමෙන් නොඇලෙත්, නොඇලීමෙන් පිරිසිදු වෙත්.
“මහාලිය, සත්වයන්ගේ පිරිසිදු වීම පිණිස මෙයද හේතු වෙයි. මෙයද ප්‍රත්‍යය වෙයි. මෙසේද සහේතු සප්රත්යයෙන් සත්වයෝ පිරිසිදු වෙත්.
“මහාලිය, මේ සංස්කාරයෝ වනාහි ඒකාන්තයෙන් සැපවත් වන්නාහුද, සැපයට වැටෙන්නාහුද, සැපයට පැමිණෙන්නාහුද, දුකින් නො බස්නාහුද, සැපයෙන් යුක්තද, සත්වයෝ මේ සංස්කාරයන් කෙරෙහි නො කළකිරෙන්නාහ. මහාලිය, යම් හේතුවකින් වනාහි සංස්කාරයෝ දුක්වන්නාහුද, දුකට වැටෙන්නාහුද, දුකට පැමිණෙන්නාහුද, සැපයෙන් නොබස්නාහුද, එහෙයින් සත්වයෝ සංස්කාරයන් කෙරෙහි කළකිරෙත්. කළකිරීමෙන් නොඇලෙත්. නොඇලීමෙන් පිරිසිදු වෙත්. මහාලිය සත්වයන්ගේ විසුද්ධිය පිණිස මෙයද හේතුවෙයි, මෙයද ප්‍රත්‍යය වෙයි. මෙසේද සහේතු සප්රත්යයෙන් සත්වයෝ පිරිසිදුවෙත්.
“මහාලිය, මේ විඥානය වනාහි ඒකාන්තයෙන් සැප වන්නේද, සැපට වැටෙන්නේද, සැපට පැමිණෙන්නේද, දුකෙන් නොබස්නේ, සැපයෙන් යුක්තව සත්වයෝ මේ විඥානය කෙරෙහි නොකලකිරෙන්නාහ. මහාලිය, යම් හේතුවකින් වනාහි විඥානය දුකද, දුකට වැටෙන්නේද, දුකට පැමිණෙන්නේද, සැපයෙන් නොබස්නේද, එහෙයින් සත්වයෝ විඥානය කෙරෙහි කළකිරෙත්. කළකිරීමෙන් නොඇලෙත්. නොඇලීමෙන් පිරිසිදු වෙත්. මහාලිය සත්වයන්ගේ පිරිසිදු වීම පිණිස මෙයද හේතුවෙයි. මෙයද ප්‍රත්‍යය වෙයි. මෙසේද සහේතු සප්රත්යයෙන් සත්වයෝ පිරිසිදු වෙත්යයි’ වදාළේය.
(අටවෙනි මහාලිය සූත්‍රය නිමි.)