සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

7. අරහන්ත වර්ගය

1. උපාදිය සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.

එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකෙළේය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට කොටින් ධර්මදේශනා කරන සේක්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා සමූහයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙමි”යි කියායි.

“මහණෙනි, තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගනුලබන්නේ මාර පුඩුවෙන් බඳනා ලද්දේ වෙයි. තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගනු නොලබන්නේ මාර පුඩුවෙන් මිදුනේ වෙයි.”

“භාග්‍යවතුන් වහන්ස, මා විසින් දැනගන්නා ලදී. සුගතයන් වහන්ස, මා විසින් දැනගන්නා ලදී.”

“මහණ, නුඹ මා විසින් කොටින් දේශනා කරන ලද වචනයේ අර්ථය විස්තර වශයෙන් කෙසේ දැනගත්තෙහිද?”

“ස්වාමීනි, රූපය වනාහි තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගනු ලබන්නේ මාරයාගේ පුඩුවෙන් බඳනා ලද්දේ වෙයි. ගනු නොලබන්නේ මාරයාගේ පුඩුවෙන් මිදුනේ වෙයි.

“වේදනාව තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගනු ලබන්නේ මාරයාගේ පුඩුවෙන් බඳනා ලද්දේ වෙයි. ගනු නොලබන්නේ මාරයාගේ පුඩුවෙන් මිදුනේ වෙයි.

“සංඥාව තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගනු ලබන්නේ මාරයාගේ පුඩුවෙන් බඳනා ලද්දේ වෙයි. ගනු නොලබන්නේ මාරයාගේ පුඩුවෙන් මිදුනේ වෙයි.

“සංස්කාරයන් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගනු ලබන්නේ මාරයාගේ පුඩුවෙන් බඳනා ලද්දේ වෙයි. නොගන්නා ලද්දේ මාර පුඩුවෙන් මිදුනේ වෙයි.

“විඥානය තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගනු ලබන්නේ මාරයාගේ පුඩුවෙන් බඳනා ලද්දේ වෙයි. නොගන්නා ලද්දේ මාර පුඩුවෙන් මිදුනේ වෙයි.

“ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ විසින් කොටින් දේශනා කරන ලද මේ වචනයේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දැන ගතිමි”යි කීයේය.

“මහණ, ඉතා මැනවි. ඉතා මැනවි මහණ, නුඹ වනාහි මා විසින් කොටින් දෙසනලද ධර්මයේ අර්ථය මනාකොට විස්තර වශයෙන් දැන ගත්තෙහිය.

“මහණ, රූපය වනාහි තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගනු ලබන්නේ මාරයාගේ පුඩුවෙන් බඳනා ලද්දේ වෙයි. ගනු නොලබන්නේ මරහුගේ පුඩුවෙන් මිදුනේ වෙයි.

“වේදනාව වනාහි තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගනු ලබන්නේ මාරයාගේ පුඩුවෙන් බඳනා ලද්දේ වෙයි. ගනු නොලබන්නේ මරහුගේ පුඩුවෙන් මිදුනේ වෙයි.

‘සංඥාව වනාහි තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගනු ලබන්නේ මාරයාගේ පුඩුවෙන් බඳනා ලද්දේ වෙයි. ගනු නොලබන්නේ මරහුගේ පුඩුවෙන් මිදුනේ වෙයි.

“සංස්කාරයන් වනාහි තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගනුලබන්නේ මරහුගේ පුඩුවෙන් බඳනා ලද්දේ වෙයි. ගනු නොලබන්නේ මරහුගේ පුඩුවෙන් මිදුනේ වෙයි.

“විඥානය තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගනු ලබන්නේ මාරයාගේ පුඩුවෙන් බඳනා ලද්දේ වෙයි. ගනු නොලබන්නේ මරහුගේ පුඩුවෙන් මිදුනේ වෙයි.

“මහණ, මා විසින් කොටින් දෙසනලද මේ ධර්මයේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දත යුතුයි.

එකල්හි ඒ භික්ෂුතෙමේ භාග්‍යවතුන්වහන්සේගේ වචනයට සතුටුවී අනුමෝදන්වී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ, ගෞරවයෙන් ගියේය. අනතුරුව ඒ භික්ෂුතෙමේ හුදකලාවූයේ සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නේ නොබෝ කලකින්ම කුලපුත්‍රයෝ යමක් සඳහා මනාකොට ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදිවෙත්ද, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව අවසානකොට ඇති ඒ උතුම් අර්ථය මේ ආත්මයේදීම තෙමේ විශිෂ්ට ඥානයෙන් අවබෝධකොට, ඊට පැමිණ, වාසය කෙළේය. ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මේ ආත්මභාවයෙහි කළයුතු අනිකක් නැත්තේයයි දැනගත්තේය ඒ භික්ෂු තෙමේ රහතුන්ගෙන් එක්තරා කෙනෙක්ද වූයේය.

(පළමුවෙනි උපාදිය සූත්‍රය නිමි.)