සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
7. අරහන්ත වර්ගය
6. අනාත්ම සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂුතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට කොටින් ධර්ම දේශනා කරන සේක්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙමි”යි කියායි.
“මහණ, යමක් අනාත්මද එහි නුඹේ ආශාව දුරු කළ යුතුයි.”
“භාග්‍යවතුන් වහන්ස, මා විසින් දන්නා ලදී. සුගතයන් වහන්ස, මා විසින් දන්නා ලදී” කීයේය.
“මහණ, නුඹ වනාහි මා විසින් කොටින් කියන ලද දේශනාවේ අර්ථය විස්තර වශයෙන් කෙසේ දැනගත්තෙහිදැ”යි විචාළේය.
“ස්වාමීනි, රූපය වනාහි අනාත්මයි. එහි මාගේ ආශාව දුරුකළ යුතුය.
වේදනාව අනාත්මයි. එහි මාගේ ආශාව දුරුකළ යුතුය.
සංඥාව අනාත්මයි. එහි මාගේ ආශාව දුරුකළ යුතුය.
සංස්කාරයෝ අනාත්මයහ. එහි මාගේ ආශාව දුරුකළ යුතුය.
විඥානය අනාත්මයි, එහි මාගේ ආශාව දුරුකළ යුතුය.
“ස්වාමීනි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දේශනා කරන ලද මේ දේශනාවේ අර්ථය විස්තර වශයෙන් මෙසේ දනිමි”යි කීයේය.
“මහණ, යහපති, යහපති, මහණ, නුඹ වනාහි මා විසින් කොටින් දේශනා කරන ලද මේ දේශනාවේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දැනගත්තේ මැනවයි” වදාළේය.
“මහණ, රූපය වනාහි අනාත්මයි. එහි නුඹේ ආශාව දුරු කළ යුතුයි.
වේදනාව අනාත්මයි. එහි නුඹේ ආශාව දුරුකළ යුතුය.
සංඥාව අනාත්මයි. එහි නුඹේ ආශාව දුරුකළ යුතුය.
සංස්කාරයෝ අනාත්මයි. එහි නුඹේ ආශාව දුරුකළයුතුය.
විඥානය අනාත්මයි එහි නුඹේ ආශාව දුරුකළ යුතුය.
මහණ, මා විසින් කොටින් දේශනා කරන ලද මේ දේශනාවේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දතයුතුය.”
එකල්හි ඒ භික්ෂුතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට සතුටුවී අනුමෝදන්ව හුනස්නෙන් නැඟිට භාග්‍යවතුන් වහන්සේට වැඳ, ගෞරවයෙන් ගියේය. අනතුරුව ඒ භික්ෂුතෙමේ හුදකලාවූයේ සමූහයාගෙන් වෙන්ව කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නේ, නොබෝ කලකින්ම කුලපුත්‍රයෝ යමක් සඳහා මනාකොට ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදිවෙත්ද, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව අවසානකොට ඇති ඒ උතුම් අර්ථය මේ ආත්මයේදීම මෙසේ විශිෂ්ට ඥානයෙන් අවබෝධකොට ඊට පැමිණ වාසය කෙළේය. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මේ ආත්මභාවයෙහි කළයුතු අනිකක් නැත්තේයයි දැනගත්තේය. ඒ භික්ෂුතෙමේ රහතුන්ගෙන් එක්තරා රහත් භික්ෂුවක් වූයේය.
(හයවෙනි අනාත්ම සූත්‍රය නිමි.)