සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
2. රාධ සංයුත්තය
1. පළමුවෙනි වර්ගය
10. ඡන්දරාග සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ඒ රාධ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“රාධය, රූපයෙහි වනාහි යම් කැමැත්තක්, ඇල්මක්, සතුටක්, යම් තෘෂ්ණාවක්, යම් උපාය උපාදාන කෙනෙක් අකුසල චිත්තයාගේ අධිෂ්ඨාන අභිනිවෙස අනුසය කෙනෙක් වෙත්ද, ඔවුන් දුරු කරව්. මෙසේ ඒ රූපය ප්‍රහීනවූයේ සිඳින ලද මුල් ඇත්තේ, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ, නැති කරණ ලද්දේ නැවත නොඉපදීම ස්වභාව කොට ඇත්තේ වන්නේය.
“වේදනාවෙහි යම් කැමැත්තක්, යම් ඇල්මක්, යම් සතුටක් යම් තෘෂ්ණාවක්, යම් උපාය උපාදාන කෙනෙක් අකුසල චිත්තයාගේ අධිෂ්ඨාන අභිනිවෙස අනුසය කෙනෙක් වෙත්ද, ඔවුන් දුරු කරව්. මෙසේ ඒ වේදනාව ප්‍රහීනවූයේ සිඳින ලද මුල් ඇත්තේ, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නැති කරණ ලද්දේ නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වන්නේය.
“සංඥාවෙහි යම් කැමැත්තක්, යම් ඇල්මක්, යම් සතුටක්, යම් තෘෂ්ණාවක්, යම් උපාය උපාදාන කෙනෙක්, අකුසල චිත්තයාගේ අධිෂ්ඨාන අභිනිවෙස අනුසය කෙනෙක් වෙත්ද, ඔවුන් දුරු කරව්, මෙසේ ඒ සංඥාව ප්‍රහීනවූයේ, සිඳින ලද මුල් ඇත්තේ, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නැති කරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාව කොට ඇත්තේ වන්නේය.
“සංස්කාරයන්හි යම් ඇල්මක්, යම් සතුටක්, යම් තෘෂ්ණාවක්, යම් උපාය උපාදාන කෙනෙක් අකුසල චිත්තයාගේ අධිෂ්ඨාන අභිනිවෙස අනුසය කෙනෙක් වෙත්ද, ඔවුන් දුරු කරව්. මෙසේ ඒ සංස්කාර ප්‍රහීනවූයේ, සිඳින ලද මුල් ඇත්තේ, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ, නැති කරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවය කොට ඇත්තේ වන්නේය.
“විඤ්ඤාණයෙහි යම් ඇල්මක්, යම් සතුටක්, යම් තෘෂ්ණාවක්, යම් උපාය උපාදාන කෙනෙක් අකුසල චිත්තයාගේ අධිෂ්ඨාන අභිනිවෙස අනුසය කෙනෙක් වෙත්ද, ඔවුන් දුරු කරව්. මෙසේ ඒ විඤ්ඤාණය ප්‍රහීනවූයේ සිඳිනලද මුල් ඇත්තේ සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වන්නේයයි” වදාළේය.
(දහවෙනි ඡන්දරාග සූත්‍රය නිමි.)
රාධ සංයුත්තයේ පළමුවෙනි වර්ගය නිමි.
මාර සූත්‍රය, සත්ව සූත්‍රය, භවනෙත්ති සූත්‍රය, පරිඤ්ඤෙය්‍ය සූත්‍රය, ශ්‍රමණ සූත්‍ර දෙක, සොතාපන්න සූත්‍රය, අරහ සූත්‍රය සහ ඡන්ද රාග සූත්‍ර දෙකදැයි මේ වර්ගයෙහි සූත්‍ර දසයකි.