සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
2. රාධ සංයුත්තය
2. දෙවෙනි වර්ගය
1. මාර සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි ‘මාරයා, මාරයායයි’ කියනු ලැබේ. ස්වාමීනි, මාරයා නම් කවරෙක්ද?”
“රාධය, රූපය මාර නම්වේ. වේදනාව මාර නම්වේ. සඤ්ඤාව මාර නම්වේ. සංස්කාරයෝ මාර නම්වේ. විඤ්ඤාණය මාර නම්වේ. රාධය, මෙසේ දකින්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්යශ්‍රාවක තෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයෙහිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් (මාර්ගයට පැමිණීමෙන්) නොඇලෙයි. (ඵලයට පැමිණීමෙන්) මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි නුවණ (පහල) වෙයි. ජාතිය කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරනලදී. මේ භවය පිණිස මත්තෙහි කළයුත්තක් නැතැයි දැනගනී” යනුයි.
(පළමුවෙනි මාර සූත්‍රය නිමි.)