සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

2. රාධ සංයුත්තය

3. ආයාචන වර්ගය

12. නිරොධ ධර්ම සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දෙශනා කරණ සේක්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා, තනිව, ජනයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙළෙස් තවන වීර්යයෙන් යෙදී, ආත්මපරිත්‍යාගයෙන් යුක්තව වාසය කරමි” යනුයි.

“රාධය, යම් නිරුද්ධවන ස්වභාවය ඇති ධර්මයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.

“රාධය, නිරුද්ධවන ස්වභාවය ඇති ධර්මය නම් කවරේද?”

“රාධය රූපය නිරොධ ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරු කළයුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. වේදනාව නිරොධ ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. සඤ්ඤාව නිරොධ ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. සංස්කාරය නිරොධ ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. විඤ්ඤාණය නිරොධ ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. රාධය, යම් ඒ නිරුද්ධ ධර්මයක් වේද? එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය යනුයි.

(දොළොස්වෙනි නිරොධ ධර්ම සූත්‍රය නිමි.)

තුන්වෙනි ආයාචන වර්ගයයි.

මාර සූත්‍රය, මාර ධර්ම සූත්‍රය, අනිත්‍ය සූත්‍ර දෙක, දුක්ඛ සූත්‍ර දෙක, අනාත්ම සූත්‍ර දෙක, ඛයධම්ම සූත්‍රය, වයධම්ම සූත්‍රය, සමුදයධම්ම සූත්‍රය සහ නිරොධධම්ම සූත්‍රයදැයි මේ වර්ගයෙහි සූත්‍ර දොළසකි.